ඇමති පාඨලී මව්බිමට එරෙහි නඩුවෙන් ඉවත් වෙයි

ඇමති පාඨලී මව්බිමට එරෙහි නඩුවෙන් ඉවත් වෙයි

by Hashini De Mel 07-06-2018 | 1:36 PM

COLOMBO (News 1st) - මව්බිම පුවත් පතෙන් රුපියල් බිලියන 1.5 ක වන්දියක් ඉල්ලා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ දිසා අධිකරණයේ පවරා තිබූ නඩු අද ඉල්ලා අස්කර ගෙන තිබේ.

පසුගිය මැතිවරණ සමයේ මව්බිම පුවත්පතේ පළ වූ ලිපි දෙකකින් සිය කීර්ති නාමයට හානි කර ඇති බව පවසමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක කොළඹ දිසා අධිකරණය හමුවේ මෙම නඩු ගොනු කර කළේ ය. අනතුරව මව්බිම පුවත්පත ද පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව හරස් ඉල්ලීමක් කර තිබුනේ ඔහු ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශවලින් පුවත්පතට අගතියක් වී ඇති බව පවසමිනි. අමාත්‍ය පාඨලී චම්මික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීති එම්. සී. ජයරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේ, සිය සේවා දායකයා නඩු කටයුත්ත ඉදිරියට ගෙන යාමට අදහස් නොකරන බැවින් එය ඉවත් කර ගැනීමට අධිකරණයේ අවසර පතන බවයි. ඊට කොළඹ අංක 1 දිසා විනිසුරු අමිල රත්නායක මහතා අවසර ලබා දුන්නේ ය. මේ අනුව මව්බිම පුවත්පත වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට දැනුම් දුන්නේ, ඔවුන් කළ හරස් ඉල්ලීම ද ඉවත් කර ගන්නා බවයි. පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් නීතිඥ එම්. සී. ජයරත්න මහතා අධිකරණයේ පෙනි සිටි අතර මව්බිම පුවත් පත වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා හා සුගත් කල්දේරා මහතා පෙනි සිටියහ.