ශ්‍රීලංකන් අක්‍රමිකතා සේවීමට පත් කළ ජනපති කොමිසම

ශ්‍රීලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සේවීමට පත් කළ ජනපති කොමිසම දෙවන සාක්ෂි විභාගය කැඳවයි

by Staff writer 06-06-2018 | 1:38 PM
COLOMBO (News 1st) - ශ්‍රීලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවල සහ ශ්‍රීලංකන් කේටරින් සේවයේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සාක්ෂි විභාගය අද පෙරවරු 10.00ට ආරම්භ විය. කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා ප්‍රකාශ කළේ, අද සාක්ෂි විමසීම සඳහා සමාගම් රෙජිස්ටාර් සහ එහි නිලධාරියෙකු කැඳවා තිබෙන බව ය. ශ්‍රීලංකන්, මිහින් ලංකා ගුවන් සේවාවල සහ ශ්‍රීලංකන් කේටරින් සේවයේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති මහජන පැමිණිලි සංඛ්‍යාව 44 කට අධික ය. එම පැමිණිලිවලට අදාළ විමර්ශන කටයුතු සඳහා විශේෂ කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වේ. කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා ප්‍රකාශ කළේ, ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කර වාර්තා ලබා ගැනීමට නියමිත බව ය. ශ්‍රීලංකන්, මිහින් හා ශ්‍රීලංකන් කෙටරින් යන ආයතවල සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් පෙබරවාරි 14 වන දා විශේෂ කොමිසමක් පත් කළේ ය. විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා සභාපතිත්වය දරණ එම කොමිසමේ සෙසු සමාජිකයින් වන්නේ අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර්. අමරසේකර, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ , විශ්‍රාමලත් විගණකාධිපති ඇම්.ඩී.ඒ. හැරල් යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ජේ.කේ. ගීගනගේ මෙනවිය යි.