මුහම්මද් ඊබ්‍රහිම් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙයි

මලයාසියානු මහ බැංකු අධිපති සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙයි

by Staff writer 06-06-2018 | 12:26 PM
(News 1st) - මලයාසියානු මහ බැංකු අධිපතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අගමැති මහතීර් මොහොමඩ් වෙත භාර දී තිබේ. අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් ප්‍රකාශ කළේ, මහ බැංකු අධිපති මුහම්මද් ඊබ්‍රහිම් සිය ඉල්ලා අස්වීමේ ලිපිය තමන්ට භාර දුන් බව ය. නමුත් මහ බැංකු අධිපති තනතුරට අනුප්‍රාප්තිකයෙකු පත් කිරීම සඳහා මේ වන තුරු තීරණයක් ගෙන නොමැති බව ද අගමැතිවරයා ප්‍රකාශ කළේ ය. අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ, මලයාසියානු ආණ්ඩුව මහ බැංකුවට අනුප්‍රාප්තිකයෙකු පත් කිරීම පිළිබඳව තීරණයක් ගෙන නොමැති අතර ඒ සඳහා එරට රජුගේ අවසරය අවැසි බව ය. සිය ධූර කාලය නිමා කිරීමට තවත් වසර 3ක කාලයක් ඉතිරිව තිබියදී මලයාසියානු මහ බැංකු අධිපතිවරයා ධූරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළේ, මූල්‍ය අක්‍රමිකතාවලට දායක වූ බවට එල්ල වන චෝදනා හේතුවෙනි. මහ බැංකුව ඉඩමක් අලෙවියෙන් ඉපැයූ අමෙරිකානු ඩොලර් මිලියන 520ක මුදලක් මලයාසියානු සංවර්ධන අරමුදලේ සිය ණය මුදල් පියවීමට හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් භාවිත කළ බව මීට පෙර එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මලයාසියානු මහ බැංකු අධිපති මුහම්මද් ඊබ්‍රහිම්ගේ ධූරයෙන් ඉල්ලා අස්වීමට හේතු වන්නේ එය බව ය . මලයාසියානු සංවර්ධන අරමුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන ගණනක මුදල් වංචා කළ බවට නජීබ් රසාක්ට චෝදනා එල්ල වේ.