ජේම්ස් සදර්ලන්ඩ් සිය තනතුරෙන් ඉවත් වෙයි

ඔස්ට්‍රේලියා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් සදර්ලන්ඩ් සිය තනතුරෙන් ඉවත් වෙයි

by Staff writer 06-06-2018 | 12:03 PM
(News 1st) - ඔස්ට්‍රේලියා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් සදර්ලන්ඩ් සිය තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් සුදුසු පුද්ගලයෙකු පත් කරන තෙක් ඔහු තවදුරටත් එම තනතුරේ කටයුතු කරනු ඇති. වසර 17ක් ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ ජේම්ස් සදර්ලන්ඩ්ගේ ඉවත් වීම තමන් වෙත දැන්වූ බව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩවියේ දැක්වේ. තමන් එම තනතුරෙන් ඉවත් වීමට සුදුසු ම කාලය මෙය බවට ද ඔහු දක්වා තිබේ. සදර්ලන්ඩ් 1998 වසරේදී ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය සමග සම්බන්ධ වූ අතර ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් වූයේ 2001 වසරේදී ය. කෙසේ නමුත් වෙනත් පුද්ගලයෙකු ඔස්ට්‍රේලියා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් කර ගන්නා තෙක් සදර්ලන්ඩ් තවදුරටත් එම තනතුරේ කටයුතු කරන බවට විදෙස් වාර්තා පවසයි. ඒ අනුව ඉදිරි මාස 12ක කාලය තුළ ඒ සඳහා සුදුසු පුද්ගලයෙකු තෝරා ගැනීමට නියමිත ය.