යාපනයේ කේබල් නාලිකාවලට නීති විරෝධී ලෙස සම්බන්ධ කර තිබූ විදුලි රැහැන් ඉවතට

by Staff writer 05-06-2018 | 8:56 PM
COLOMBO (News 1st) - යාපනය වඩමාරච්චි ප්‍රදේශයේ විදුලි කණු මතින් දිව යන රූපවාහිනී කේබල් නාලිකාවලට නීති විරෝධී ලෙස සම්බන්ධ කර තිබූ විදුලි රැහැන් අද විදුලිබල මණ්ඩල නිලධාරීන් විසින් ඉවත් කරනු ලැබී ය. වඩමාරච්චි වල්ලෙයිවෙලි ප්‍රදේශයේදී මේ කටයුතු සිදු කළ බව අප වාර්තාකරු පැවසුෙව් ය. මෙලෙස සවි කර තිබූ රූපවාහිනී කේබල් නාලිකා එකිනෙක ඇතිල්ලීමෙන් සිදු වූ විදුලි කාන්දු නිසා පසුගිය මාසයේ 23 වන දා පුද්ගලයින් දෙදෙනෙක් මිය ගියහ. පියාට විදුලි සැර වැදීමෙන් ඔහු බේරා ගැනීමට ගිය පුතා ද මිය ගිය අතර මොවුන් දෙදෙනා බේරා ගැනීමට ගිය තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කළේ ය. ප්‍රදේශවාසීන් පවසන්නේ, මේ අයුරින් පසුගිය සමයේ මරණ කිහිපයක් ම සිදුව ඇති බව ය. කිසිදු අනුමැතියක් නොමැතිව විදුලිබල මණ්ඩලයට අයත් කණු හරහා මෙම රූපවාහිනී කේබල් නාලිකා රැහැන් ද සම්බන්ධ කර තිබූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍ර‍කාශකවරයා පැවසුවේ ය. ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් කමිටුවක් පත් කර සොයා බැලීමට කටයුතු කළ බව ය. ඇතැම් නාලිකා රජයට විශාල වශයෙන් මුදල් ගෙවමින් අනුමැතිය ගෙන තම සේවා ක්‍රියාත්මක කරද්දී මෙවැනි ආයතන නීති විරෝධී ලෙස, ජනතාවගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයකට පත් කරමින් දීර්ඝ කාලීනව මෙවැනි කේබල් නාලිකා සේවාවන් පවත්වාගෙන යන්නේ කෙසේ ද?