බැංකු මගේ යටතේ තිබුණට සම්පුර්ණ බලය මගේ අමාත්‍යංශයට පැවරුණේ නැහැ - කබීර් හෂීම්

by Staff writer 05-06-2018 | 10:24 PM
COLOMBO (News 1st) - කබීර් හෂීම් අමාත්‍යවරයා අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී ද බැඳුම්කර වංචාව පිළිබඳව ප්‍රශ්න කෙරිණි. ප්‍රශ්නය - 2016 මාර්තු මාසයේ බැඳුම්කර වෙන්දේසියෙදී ඔබතුමා යටතේ තමයි රාජ්‍ය බැංකු ටික තිබුණේ. ඒ අවස්ථාවෙදී රවි කරුණානායක මුදල් අමාත්‍යවරයා විදිහට බැංකු ප්‍රධානීන් කැඳවා ලංසු තියන ප්‍රතිශතයක් සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කළා කියලා මාධ්‍ය වර්තා කළා. බැඳුම්කර කොමිසම හමුවේ ඔවුන් සාක්ෂි ලබා දුන්නා. ඒ සම්බන්ධයෙන් ඔබතුමා දැනුවත් වෙලා හිටිය ද රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට මේ වගේ නියෝගයක් දුන්නා කියලා රවි කරුණානායක ඇමතිතුමා? අමාත්‍ය කබීර් හෂීම් - සභාපති එක්සත් ජාතික පක්ෂය ''නෑ බැංකු මගේ යටතේ තිබුණට විටින් විට මුදල් අමාත්‍යංශය බැංකු ප්‍රධානීන් කැඳවලා මූල්‍ය ප්‍රතිපත්ති ගැන කතා කරනවා. ඒවා විටින් විට වෙන දේවල්. ඒ නිසා මම ඒ ගැන දැනුවත් වෙලා හිටියේ නෑ. සම්පූර්ණ බලය මගේ අමාත්‍යංශයට පැවරුණේ නෑ. ඒ ප්‍රතිපත්තිමය බලය අද වුණත් තියෙන්නේ මුදල් අමාත්‍යංශයට. එකේ සම්පූර්ණ බලය මගේ අමාත්‍යංශයට පැවරුණේ නෑ. ඒ නිසා සභාපතිවරයෙක් පත් කරන්න වුණත් මට ඇමතිවරයා හැටියට අවසර ගන්න උනේ මුදල් අමාත්‍යවරයාගෙන්. ඒක තමයි ක්‍රමවේදය. ඒක නඩත්තුව පාලනය ,ඔතන තමයි වෙන්නෙ.'' අප කළ විමසීමකදී හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසුවේ, කබීර් හෂීම් මහතාගේ ප්‍රකාශයේ සත්‍යයක් නොමැති බව ය. 2015 ජනවාරි සිට අගෝස්තු දක්වා රාජ්‍ය බැංකු කිහිපයක් තමන් යටතේ තිබූ අතර ඉන් පසුව ඒවා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතට පත් කළ බව කරුණානායක මහතා සඳහන් කළේ ය.