නව නියෝජ්‍ය කතානායක ධූරය කාට ද?

නව නියෝජ්‍ය කතානායක ධූරය කාට ද?

by Staff writer 05-06-2018 | 6:33 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සඳහා අද දිනයේදී නව නියෝජ්‍ය කතානායකවරයෙකු පත් කිරීමට නියමිතව තිබේ.

නියෝජ්‍ය කතානායක ධූරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාධන් මහතාගේ නම යෝජනා වී ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කළේ ය. මේ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජ්‍ය කතානායක ධූරය සඳහා මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතාව යෝජනා කිරීමට ඊයේ පස්වරුවේ රැස් වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම සුදර්ශනී ප්‍ර‍නාන්දුපුල්ලේ මහත්මියව නියෝජ්‍ය කතානායක ධූරයට යෝජනා කර ඇත. ඊට අමතරව කාදර් මස්තාන්, මලිත් ජයතිලක හා ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන්ගේ ද නම් මේ සඳහා යෝජනා වී ඇති බව සඳහන් වේ. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරය හිස්වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදෙමින් තිලංග සුමතිපාල මහතා ආණ්ඩුවෙන් මෙන් ම නියෝජ්‍ය කතානායක ධූරයෙන් ද ඉවත්වීමෙන් පසුවයි. නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ ඉල්ලා අස්වීම, අද දිනයේදී නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිත වේ.