නකල්ස් සංහාරයට වගකිව යුත්තේ කවුරුන්ද? මැති ඇමතිවරුන්ගෙන් පරස්පර ප්‍රකාශ

by Staff writer 05-06-2018 | 9:57 PM
COLOMBO (News 1st) - අද ලෝක පරිසර දිනය යි. එහෙත් අද දිනයේත් අපට අවධානය යොමු කිරීමට සිදුව ඇත්තේ පරිසර විනාශයක් පිළිබඳව ය. රාජ්‍ය වැවිලි සමාගම්වලට අයත් වතුවල ඉඩම් පෞද්ගලික අංශයට පැවරීමට ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව මේ වන විට පරිසර සංවිධානවල දැඩි අවධානයට ලක්ව තිබේ. රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව ප්‍රවේශය සහ තිරසර හා මූල්‍යමය වශයෙන් ශක්තිමත් සැලසුම් සහිතව සුළු හා මධ්‍ය පරිමාණ ආයෝජකයින්ට ලබා දීම යන තේමාව ඔස්සේ මීට අදාළ කැබිනට් පත්‍රිකාවක් ද යොමු කර ඇත්තේ අමාත්‍ය කබීර් හෂීම් මහතා ය. මේ යෝජනාව ප්‍රකාරව නකල්ස් අඩවියට යාබද ඕපල්ගල, මැදවත්ත, නිකොලොඔය, කැලෑබොක්ක, අලකොළේ, ගෝමරේ, ගල්පිහිල්ල, හග්ගල්ල, කොටගඟ, රංගල, හෙයාර් පාර්ක් යන රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් වතුවල හෙක්ටයාර 9675න් හෙක්ටයාර 6192ක් පෞද්ගලික අංශයට ලබා දීමට නියමිත ය. පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ පරිසර සංවේදී මධ්‍යම කඳුකරයේ ජල පෝෂිත ආශ්‍රිතව පවතින ඉඩම්වල මෙවැනි ව්‍යාපෘති ඇරඹීම ඔස්සේ මෙරට ජෛව විවිධත්වයට සිදු විය හැකි බලපෑම සුළු පටු නොවන බව ය. ආන්දෝලනයට තුඩු දී ඇති මෙම කැබිනට් පත්‍රිකාව පිළිබඳව අමාත්‍ය කබීර් හෂීම් මහතාගෙන් ද මාධ්‍යවේදීන් ඊයේ විමසීමක් කළේ ය. මේ අතර අද රැස්වූ කැබිනට් මණ්ඩලයේදී ද මේ පිළිබඳව අවධානය යොමු වී තිබේ. කෙසේ වෙතත් අමාත්‍ය කබීර් හෂීම් මහතා ඊයේ කළ ප්‍රකාශයට පරස්පර අදහසක් අද පස්වරුවේ ප්‍රකාශ කළේ ය.