ජල සම්පාදන සේවකයින් අද කොළඹට...

ජල සම්පාදන සේවකයින් අද කොළඹට

by Staff writer 05-06-2018 | 7:17 AM

COLOMBO (News 1st) - වැටුප් විෂමතාවක් මුල් කරගනිමින් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජල සැපයුමට හා නඩත්තු කටයුතුවලට අද ත් බාධා මතුව තිබේ.

කෙසේ වෙතත් වර්ජනය අද ත් ක්‍රියාත්මක කරන බව ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය පවසා ඇත. එහි කැඳවුම්කරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ, මෙතෙක් තම ඉල්ලීම්වලට විසඳුම් ලැබි නොමැති බවයි. අතිකාල ප්‍රතික්ෂේප කිරීම සහ වැටුප් වර්ධක නොලැබීම ඇතුලු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ජල සම්පාදන වෘත්තිය සමිති නඩත්තු කටයුතු අතිකාල සේවා ඇතුලු සේවාවලින් ඉවත්වීමට තීරණය කර ඇත. උපාලි රත්නායක මහතා සඳහන් කළේ, අද දහවල් 12.00 - 1.00 අතර ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යාංශය ඉදිරිපිට බස්නාහිර පළාතේ සේවකයින් සියලු දෙනා විරෝධතාවක නිරත වන බවයි. ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඩී. යූ. සුමනසේකර මහතා ප්‍රකාශ කළේ, සේවක ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවය. මේ අතර තැපැල් වෘත්තිය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය ද අද මධ්‍යම රාත්‍රිය වන තෙක් ක්‍රියාත්මක කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච්. කේ. කාරියවසම් මහතා පවසා ඇත. තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ සේවය ස්ථිර නොකිරීම ඇතුලු ඉල්ලිම් 07 ක් මුල් කරගනිමින් ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර තිබේ. තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළේ, වර්ජනය හේතුවෙන් තැපැල් බෙදා හැරීමේ කටයුතුවලට බාධාවක් නොමැති බවයි. මේ අතර දිගු කාලින විදුලි ජනන සැලැස්ම ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමින් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක බව ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා ප්‍රකාශ කළේ ය.