තැපෑලත් වර්ජනයේ...

තැපෑලත් වර්ජනයේ...

by Sagarika Chathumali 04-06-2018 | 7:15 AM

COLOMBO (News 1st) : තැපැල් හා විදුලි සංදේශ නිලධාරී සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ, තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ සේවය ස්ථීර නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි. එම සංගමයේ ප්‍රධාන ලේකම් එච්. කේ. කාරියවසම් මහතා පැවසුවේ, ‍හෙට මධ්‍යම රාත්‍රිය දක්වා සිය වැඩ වර්ජනය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වන බවයි. මේ අතර තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, එම වර්ජනය සඳහා තම සහය ලබා නොදෙන බවයි. කෙසේ වෙතත් තම සංගමයට අයත් වෘත්තීය රැසක් ලබන 11 වනදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව ඔහු සඳහන් කළේ ය. තැපැල් අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පැවසුවේ, ඉදිරි සති කිහිපයක ඇතුළත එම සේවකයින්ගේ ගැටලු සඳහා විසඳුම් ලබාදෙන බවයි. මීට අමතරව ජල විදුලි හා තැපැල් යන ක්ෂේත්‍රවල සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජන ද අඛණ්ඩව ක්‍රියාත්මක වේ. වැටුප් විෂමතාවක් මුල් කරගනිමින් ආරම්භ කල සිය වැඩ වර්ජනය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජල සැපයුමට බාධා මතුව ඇතැයි ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය පවසයි. එහි කැඳවුම්කරු උපාලි රත්නායක මහතා ප්‍රකාශ කළේ, සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කිරීමත් සමග බොහෝ ප්‍රදේශවල නඩත්තු කටයුතු සිදු නොකළ බවයි. මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ජලසම්පාදන හා නගර සැලසුම් අමාත්‍යාංයේ ලේකම් එම්. වී. හපුආරච්චි මහතා ප්‍රකාශ කළේ, සේවකයින් සඳහා 20%ක වැටුප් වැඩි කිරීමක් ජනවාරි මාසයේ සිට ලබා දී ඇති බවයි. 25%ක් දක්වා වැටුප් වැඩි කිරීමට අමාත්‍යාංශයට හැකියාවක් නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.