උන්ගේ හෝටල් බිල්පත් ගෙවීම පිළිබඳ ගැටලුවක්

සිංගප්පූරු සංචාරයට යන කිම් ජොන් උන්ගේ හෝටල් බිල්පත් ගෙවන්නේ කවුරුන්දැයි ගැටලුකාරී තත්ත්වයක්

by Staff writer 03-06-2018 | 9:24 AM
(News 1st) - සිංගප්පූරු සාකච්ඡා සඳහා යන උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ හෝටල් බිල්පත් ගෙවීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව තිබේ. උතුරු කොරියාව පවසන්නේ, අමෙරිකාව තම රටට පනවා ඇති ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන් වෙනත් රටක් සිය බිල්පත් ගෙවිය යුතු බව ය. ඔහු නවාතැන් ගැනීමට නියමිත තරු පහේ හෝටලයේ ජනාධිපතිවරයෙකු නවාතැන් ගන්නා විට එක් රැයක් සඳහා ගෙවිය යුතු මුදල ඩොලර් 6000කි. මීට අමතරව සිංගප්පූරුවේ ෂැන්ගිලා හෝටලයේ ද ඔහු නවාතැන් ගැනීමට නියමිත ය. හෝටල් බිල්පත්වලට අමතරව උතුරු කොරියානු නායකයාගේ සංචාරයේ ගුවන් ගමන් වියදම් ද කවුරුන් විසින් හෝ දැරිය යුතු වේ. පසුගිය වසරේ න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් උතුරු කොරියාවට හිමි වූ නොබෙල් සාම ත්‍යාග මුදලින් කොටසක් කිම් ජොන් උන්ගේ බිල්පත් ගෙවීම සඳහා ලබා දීමට අදාළ සමාගම කැමැත්ත පළ කර තිබේ. ඒ, මෙම සාකච්ඡාවලින් උතුරු කොරියාව න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් වනු ඇතැයි යන විශ්වාසය මත පදනම්ව ය. කෙසේ වෙතත් සිංගප්පූරු සාකච්ඡා සඳහා පැමිණෙන උතුරු කොරියානු නායකයාගේ හෝටල් බිල්පත් ගෙවීම සම්බන්ධයෙන් සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට එළැඹීමට සූදානම් බව ධවල මන්දිරය ප්‍රකාශ කළේ ය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර ඓතිහාසික හමුව සිංගප්පූරුවේදී පැවැත්වෙන්නේ ලබන 12 වන දා ය.