ශ්‍රී.ල.නි.ප.යේ නව මහ ලේකම්වරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත් කෙරේ

by Staff writer 03-06-2018 | 11:54 AM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා තාවකාලිකව අද නව නිලධාරී මණ්ඩලයක් පත් කෙරිණි. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක කාරක සභාව හා සමස්ත ලංකා කාරක සභා රැස්වීමේදී ය. රැස්වීම පැවැත්වුණේ, බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ය. පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව මෙතෙක් පැවති පක්ෂයේ නිලධාරී මණ්ඩලය විසුරුවා හැරිණි. ඒ අනුව තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කෙරුණු අතර නව මහ ලේකම්වරයා ලෙස පත් කෙරුණේ, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ය. ජාතික සංවිධායක ලෙස අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පත් කෙරිණි. එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා පත් කෙරුණේ, පක්ෂ භාණ්ඩාගාරික ලෙස ය. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා නිව්ස්ෆස්ට් වෙත පැවසුවේ, තමාව මහ ලේකම් ධූරය සඳහා ඒකමතිකව පත් කෙරුණු බව ය. අද උදෑසන පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමට ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායමේ පිරිසක් ද සහභාගී වූහ.