ශ්‍රීලංකන් ගුවන් ගමන් පවා වෙනස් කළ අග්නි...

ශ්‍රීලංකන් ගුවන් ගමන් පවා වෙනස් කළ අග්නි...

by Sagarika Chathumali 03-06-2018 | 10:32 PM
COLOMBO (News 1st)  : අග්නි 5 බැලැස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බැලීමත් සමග ඉන්දියාව අද සිය බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම් ක්‍රියාවලියේ නව සංධිස්ථානයක් සනිටුහන් කළේ ය. මීටර් 17 ක් දිග සහ මීටර් 2 ක් පළල අග්නි පහ බැලිස්ටික් මිසයිලයට ටොන් 1.5 ක බරින් යුත් න්‍යෂ්ටික යුධ ශීර්ෂ රැගෙන යා හැකියි. ඔරිස්සාහි පිහිටි ආචාර්ය අබ්දුල් කලාම් දිවයිනේ සිට එම මිසයිලය අත්හදා බැලූ අතර මිසයිලයට කිලෝමීටර 5000 ක ඉලක්කයක් කරා ළඟා විය හැකි බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. මෙම මිසයිලය නිර්මාණය කර ඇත්තේ සිය ගමන් මාර්ගයෙහි උච්චතම ස්ථානයට ළඟාවීමෙන් පසුව පෘථිවි ගුරුත්වාකර්ෂණයට මුහුණ දෙමින් අපේක්ෂිත ඉලක්ක කරා ගමන් කිරීමටයි. නව තාක්ෂණය උපරිම ලෙස භාවිත කරමින් මෙම මිසයිලය නිපදවා ඇති අතර එය වරින් වර නඩත්තු කිරිමේ අවශ්‍යතාවක් නොමැති බව ද එරට බලධාරින් පෙන්වා දෙයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ඉන්දියාව මීට පෙර අත්හදා බැලු මිසයිල මෙන් නොව ඇග්නි-5 මග පෙන්වීම , එන්ජින් නව තාක්ෂණයත් සමඟ වඩාත්ම දියුණු තත්ත්වයක පවතින බවයි. එමෙන්ම මෙම මිසයිල ඉතා ඉහළ සක්‍යතාවයකින් යුත් නාවික පද්ධතියකින් ද සමන්විත බව විදෙස් වාර්තාවල සඳහන් ය. මෙම අත්හදා බැලීම හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත්වන හා ළඟා වන ගුවන් ගමන් වේලාවන් ද අද දිනයේ සංශෝධනය කර තිබිණ. මේ යටතේ කොළඹ සිට ක්වාලාලම්පුර්, සිංගප්පූරුව, බැංකොක්, බලා පියාසර කරන ගුවන් ගමන් 11 ක් පමණ පිටත්වන සහ ළඟා වන වේලාවන් සංශෝධනය කළ බව ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේ ය.