විගණන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය

විගණන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය කල් දැමීම සම්බන්ධයෙන් අප්‍රසාදය

by Staff writer 03-06-2018 | 7:33 AM
COLOMBO (News 1st) - ජාතික විගණන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය තවදුරටත් කල් දැමීම සම්බන්ධයෙන් විගණන සේවා සංගමය අප්‍රසාදය පළ කරයි. එහි සභාපති කේ.එන්.එම්. කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේ, දිගින් දිගට ම සංශෝධන සිදු කිරීමට ඇති බව පවසමින් පනත විවාදයට ගැනීම ප්‍රමාද කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක බව ය. වංචාව හා දූෂණය නැවැත්වීමට වත්මන් ආණ්ඩුවට කිසිම වුවමනාවක් නොමැති බව ද කුමාරසිංහ මහතා අවධාරණය කරයි. කුමාරසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, වෙනත් පනත් දින කිහිපයකින් ගෙන එන පසුබිමක විගණන පනත ගෙන ඒමට බාධා කරන බව ය. විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතාගෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ඔහු පැවසුවේ, සංශෝධනවලට මැදිහත් වීමට නොහැකි බැවින් නිහඬව බලා සිටීමට සිදුව ඇති බව ය. මේ සම්බන්ධයෙන් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගෙන් ද නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, හෙට පැවැත්වෙන කණ්ඩායම් රැස්වීමෙන් පසු ඒ පිළිබඳව දැනුම් දිය හැකි බව ය.