තැපැල් සේවකයින් වර්ජනයකට සැරසේ

ජල වෘත්තීය සමිති වර්ජනයෙන් සැපයුමට බාධා: තැපැල් සේවකයිනුත් වර්ජනයකට සැරසේ

by Hashini De Mel 03-06-2018 | 5:28 PM

COLOMBO (News 1st) - වැටුප් විෂමතාවක් මුල් කරගනිමින් ජල සම්පාදන මණ්ඩල සේවකයින් ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක බව ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය පවසයි.

එහි කැඳවුම්කරු උපාලි රත්නායක මහතා ප්‍රකාශ කළේ, පොරොන්දු වූ පරිදි සිය ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවය. වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන්, ජල සැපයුමට බාධා එල්ලවීමේ සිදුවීම් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ජල සම්පාදන හා නගර සැලසුම් අමාත්‍යාංශයේ ලේකම් එම්. වී. හපුආරච්චි මහතා ප්‍රකාශ කළේ, 20% ක වැටුප් වැඩි කිරීමක් ජනවාරි මාසයේ සිට ලබා දී ඇති බවයි. 25% ක් දක්වා වැටුප් වැඩි කිරීමට අමාත්‍යාංශයට හැකියාවක් නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සමාන්‍යාධිකාරි ඩී. යු. සුමනසේකර මහතා ප්‍රකාශ කළේ, දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ජලය බිඳවැටීම් වාර්තා වන බවයි. අලුත්වැඩියා කටයුතු සඳහා කණ්ඩායම් යොමු කිරීමට කටයුතු කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරී සංගමය පවසා ඇත. එහි ප්‍රධාන ලේකම් එච්. කේ. කාරියවසම් මහතා ප්‍රකාශ කළේ, තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ සේවය ස්ථීර නොකිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට යොමු වන බවයි. තව ද දිගු කාලීන විදුලි ජනන සැලැස්ම ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමින්, අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය දැඩිකිරීමට පියවර ගන්නා බව ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසා තිබේ. එහි සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා සඳහන් කළේ, ලබන අඟහරුවාදා විධායක කමිටු රැස්වීමේදී අවසන් තීරණයකට එළැඹෙන බවයි.