අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් ලැයිස්තුව හෙළි වේද?

අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් ලැයිස්තුව හෙළි වේද? තීන්දුව ලබන සතියේ

by Sagarika Chathumali 03-06-2018 | 7:48 PM

COLOMBO (News 1st) : මහ බැංකු බැඳුම්කර ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ හඳුනාගත් ලේඛනයක් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන සතිය තුළ ප්‍රකාශයට පත් කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ C 350 දරන එම ලේඛනයේ අදාළ සමාගමෙන් මුදල් ලබාගත් බව කියන පුද්ගලයින් රැසකගේ සංවේදී තොරතුරු අන්තර්ගත බව කැෆේ සංවිධානය පසුගිය දා අනාවරණ කළේ ය. නීතිපති ජයන්ත ජයසූරිය මහතා ප්‍රකාශ කළේ, එම ලේඛනය ප්‍රසිද්ධ කිරීමෙන්, බැඳුම්කර විමර්ශනවලට බාධාවක් ඇතිවේ ද නැද්ද? යන්න පිළිබඳ විශේෂ අධ්‍යනයක් මේ වන විට ආරම්භ කර ඇති බවයි. ඒ සඳහා විශේෂ කණ්ඩායමක් ද යොමු කර තිබේ. සිදු කරමින් ඇති අධ්‍යයනයෙන් පසු අවසන් නිගමනය ජනාධිපති ලේකම්වරයාට දැනුම් දීමට කටයුතු කරන බව ද, නීතිපති ජයන්ත ජයසූරිය මහතා සඳහන් කළේ ය. අදාළ ලේඛනය ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතා ද තමන්ගෙන් විමසූ බව ඔහු වැඩිදුරටත් පැවසී ය. කෙසේ වෙතත් බැඳුම්කර කොමිසමේ අවසන් වාර්තාවේ දෙවන ඇමුණුමේ මුල් පිටපත මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින බව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසී ය. අදාළ පිටපත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත්තේ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කොමිසමේ ලේකම්වරයාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලද නියෝගයකට අනුව බව ද අදාළ නිවේදනයේ සඳහන් ය. https://www.youtube.com/watch?v=bNvLD0BNwP8