ආන්දෝලනාත්මක ශ්‍රී ලංකා-සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම

රාජිත නැතැයි කියන මලික් සමරවික්‍රම ඇතැයි කියන ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය

by Staff writer 02-06-2018 | 8:00 PM
COLOMBO (News 1st) - පසුගිය දිනවල කතාබහට ලක්වුණු ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව කරුණු විමසීමට අපි වතාවන් ගණනාවකම සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා හෝ, අමාත්‍යංශයේ නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළෙමු. එනමුත් ඒ කිසිදු අවස්ථාවක අපට සාර්ථක ප්‍රතිචාරයක් නොලැබිණි. නමුත් අද මලික් සමරවික්‍රම අමාත්‍යවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම පිළිබඳව කරුණු පැහැදිලි කරන්නට උත්සහ කර තිබේ. මෙම නිවේදනයේ දැක්වෙන්නේ, මෙම වෙළෙඳ ගිවිසුම සකස් කර ඇත්තේ, 2017 අගෝස්තු මාසයේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය අනුව බව ය. නමුත් 2018 ජනවාරි මස 08 වන දා කැබිනට් මණ්ඩලයට සන්දේශයක් ඉදිරිපත් කරන ජනාධිපතිවරයා පවසන්නේ, 2017 ජූලි මාසයේදී අනුමත කර ගන්නා ලද ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියට අනුව මෙය සකස් විය යුතු බව ය. තව ද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් විමසූ විට ඔහු තහවුරු කර සිටියේ, ශ්‍රී ලංකාවට පිළිගත් ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් නැති බව ය. එසේ නම් මලික් සමරවික්‍රම අමාත්‍යවරයා පවසන මෙම කැබිනට් මණ්ඩලයෙන් අනුමත වූ ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය තිබෙන්නේ කොහේ ද? ඒ පිළිබඳව කැබිනට් ප්‍රකාශක තුමා පවා නොදන්නේ මන්ද? මෙම මාධ්‍ය නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ, අදාළ ගිවිසුම පිළිබඳව අමාත්‍යවරුන් 14 දෙනෙකු ඉදිරිපත් කළ නිරීක්ෂණ සැලකිල්ලට ගෙන මෙම ගිවිසුම සකස් කර ඇති බව ය. එහෙත් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ඉදිරිපත් කළ නිරීක්ෂණවලට සිදු වූයේ කුමක් ද? ඇතැම් දේශපාලනඥයින් මෙන් ම වෘත්තීයවේදීන් යැයි කියා ගන්නා සුළු පිරිසක් විසින් වැරදි සහගත කරුණු පදනම් කරගෙන කරන චෝදනා සහ පහර ගැසීම් අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කර තිබේ.