කොදෙව්හී පුහුණු තරගයේදී චන්දිමාල්ගෙන් ශතකයක්

කොදෙව්හී පුහුණු තරගයේදී චන්දිමාල්ගෙන් ශතකයක්

by Chathuranga Rajapaksha 02-06-2018 | 2:02 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ආරම්භ කිරීමට පෙර පැවැත්වෙන පුහුණු තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් සභාපතිවරයාගේ කණ්ඩායම් අතරයි. ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් තෙදින පුහුණු තරගය පසුගිය 30 වැනිදා ට්‍රිනිඩෑඩ් හි පිහිටි බ්‍රයන් ලාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය . කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකය දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය . ඒ අනුව ආරම්භක පිතිකරුවන් යුගලය ලෙසින් පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරාගේ පළමු කඩුල්ලේ සබඳතාව එක් ලකුණකට සීමා කිරීමට දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක මියුගල් කුමින්ස් සමත් විය. ඒ, අනුව නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් පන්දු 216කට මුහුණ දෙමින් ලකුණු 108ක් රැස් කළේය. ඊට හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත් විය . දිනේෂ් චන්දිමාල් සහ කුසල් පෙරේරා අතර දෙවැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 130කි. තරගයේ දෙවන දිනය ආරම්භවන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 6ක් දැවී ලකුණු 318ක් ලෙසින් දැක්විය. ශ්‍රී ලංකා පළමු ඉනිමේ තුළ පසුපෙළ හා මැදපෙළ සවිමත් කළ පිතිකරුවා බවට පත්වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 74ක් රැස් කළේය . ඊට හතරේ පහර 8ක්ද ඇතුළත් විය. ඒ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 428 ක් රැස් කළේය . පන්දු යැවීමේදී ජොමෙල් වොරිකන් කඩුලු 4 ක් දවාගත් අතර රාඛීම් කෝන්වෝල් කඩුලු 3 යි . අනතුරුව සිය පළම ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් සභාපතිවරයාගේ කණ්ඩායමට සියල්ලන් දැවී රැස්කර ගත හැකිවූයේ 272 ක් පමණි. ඒ අනුව තරගයේ තුන්වන දිනය අවසන් වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී රැස් කරගෙන සිටි ලකුණු ගණන 135කි.