ට්‍රම්ප් උ. කොරියාව සමග සාකච්ඡාවට කැමති වෙයි

කිම් ජොන් උන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡාව සැලසුම් කළ පරිදි

by Chathuranga Rajapaksha 02-06-2018 | 10:48 AM

(News 1st) - උතුරු කොරියානු නායකයා සහ තමන් අතර ඓතිහාසික හමුව සැලසුම් කළ පරිදි ලබන 12 වන දින සිංගප්පූරුවේදී පැවැත්වෙන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

අමෙරිකානු ජනපතිවරයා ඒ බව නිවේදනය කළේ, උතුරු කොරියානු ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු සමග ධවල මන්දිරයේදී පැවති හමුවකින් අනතුරුවයි. එහෙත් එම සමුළුව අවලංගු කරන බව මීට සතියකට පෙර ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය. විදෙස් වාර්තාවන්හී දැක්වෙන්නේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් සිය නියෝජිතයා අත එවන ලද ලිපියක් ද ධවල මන්දිරයෙදී ජනපති ට්‍රම්ප්ට භාර දුන් බව ය. එම ලිපිය ඉතා සිත්ගන්නා සුළු බව ජනපති ට්‍රම්ප් මුලින් පැවසුව ද තවමත් එය විවෘත නොකළ බව පසුව කියා සිටියේය. අමෙරිකානු ජනපතිවරයා වැඩි දුරට ත් කියා සිටියේ කොරියානු යුද්ධය නිල වශයෙන් අවසන් කිරීම සිංගප්පූරුවේදී පැවැත්වෙන සාකච්ඡා මත රඳා පවතින බව ය. එහෙත් මෙම හමුව මතභේදාත්මක න්‍යෂ්ඨික වැඩසටහන් අවසන් කිරීමේ අවසාන හමුව නොවන බව ත් එය දීර්ඝ ක්‍රියාවලියක් බවත් ජනපති ට්‍රම්ප් කියා සිටියේය. 1950 - 53 කාලය තුළ පැවති ගැටුම් අවසන් වූයේ සාම ගිවිසුමකින් නොව සටන් විරාමයකින් පමණක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.