ලසන්ත ඝාතනයේ දෙවන හා තුන්වන සැකකරුවන් යළි රිමාන්ඩ්

ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ දෙවන හා තුන්වන සැකකරුවන් යළි රිමාන්ඩ්

by Chathuranga Rajapaksha 01-06-2018 | 9:10 PM

COLOMBO (News 1st) - මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධ නඩුවේ දෙවන හා තුන්වන සැකකරුවන් වන හිටපු පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර යන මහත්වරුන් ලබන 12 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ, ඊට අදාළ නඩුව ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් මහතා අද කැඳවූ අවස්ථාවේදී ය. මෙහිදී දෙවන සැකකරු වන තිස්ස සුගතපාල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රසික වීරසුරිය මහතා සැකකරු වෙනුවෙන් ඇප ඉල්ලා සිටියේය. එහිදී ඔහු අධිකරණයට කියා සිටියේ ලසන්ත වික්‍රමතුංග මහතාට වෙඩි තැබූ අවස්ථාවේදී ඔහුගේ වාහනයේ තිබූ සටහන් පොතේ සටහන් කර තිබු යතුරු පැදි දෙකේ අංක සම්බන්ධයෙන් විමර්ශන නොකරන ලෙසට එවක ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ ප්‍රසන්න නානායක්කාර මහතා තම සේවා දායකයාට තර්ජනය කර ඇති බව ය. එම විමර්ශන ඉදිරියට කළහොත් ලසන්ත වික්‍රමතුංග මහතාට අත්වූ ඉරණම තිස්ස සුගතපාල සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අත්විය හැකි බවට ඔහු තර්ජනයක කර ඇති බව ද නීතිඥවරයා අධිකරණයට කියා සිටියේය. ඒ, අනුව අදාළ සටහන් පොත සහ විමර්ශන වාර්තා තම සේවා දායකයා විසින් නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතාට භාර දී ඇති බව ද නීතිඥවරයා කියා සිටියේය. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා එම ඉල්ලීම විරෝධය පල කරමින් කියා සිටියේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ කරුණු නොමග යැවීමට එක් එක් සංවිධාන කටයුතු කරගෙන යන බව ය. එමගින් විමර්ශනවලට සිදුව ඇති හානිය නිවැරදි කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය. රජයේ නීතිඥවරයා මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ තිස්ස සුගතපාල සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමන්ත අධිකාරි යන මහත්වරුන් අධිකරණයට ලබාදුන් රහස් ප්‍රකාශවල පිටපත් නීතිපතිවරයාට යොමු කරන ලෙස ය.