රෝහිතගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගන්නැයි නියෝග

රෝහිත බෝගොල්ලාගමගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග

by Staff writer 01-06-2018 | 12:34 PM
COLOMBO (News 1st) - නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ වන දීප්ති බෝගොල්ලාගම සහ ඔහුගේ දියණිය වන දිල්හානි බෝගොල්ලාගම යන දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද කුරුඳුවත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේ ය. ඒ, කාන්තාවකට පහර දීමට තැත් කර, සාපරාධී බලහත්කාරය පෑ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි. අද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබුණ ද ඔවුහු අධිකරණයට පැමිණ නොසිටියහ. ප්‍රධාන මහේස්‍ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ, අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබියදීත් පළමු සැකකාරිය වන දීප්ති බෝගොල්ලාගම මහත්මිය, පැමිණිලිකාර කාන්තාවට දුරකතනයෙන් අමතා මරණීය තර්ජන එල්ල කර ඇති බවට පෙන්වා දෙමින්, අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ කරුණු දැක්වීම සලකා බලමිනි. නඩුව ලබන 22 වන දා යළි කැඳවීමට නියමිත ය.