දකුණේ පැතිර යන වෛරස් උණ පාලනයට වෛද්‍ය කණ්ඩායමක්

දකුණේ පැතිර යන වෛරස් උණ පාලනයට විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පත් කරයි

by Staff writer 01-06-2018 | 9:21 AM
COLOMBO (News 1st) - දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගය පාලනය කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් සිව් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොමු කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් දිසානායක මහතා ප්‍රකාශ කළේ, රෝගීන් වාර්තා වීම ඉහළ යාමත් සමග විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් යොමු කිරීමට පියවර ගත් බව ය. මේ යටතේ කඹුරුපිටිය රෝහලට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු යොමු කර තිබේ. අනෙක් වෛද්‍යවරුන් 3 දෙනා යොමු කර ඇත්තේ කරාපිටිය රෝහලට ය. පසුගිය 21 වන දා සිට 30 වන දා දක්වා කාලය තුළ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති වෛරස් උණ රෝගීන් සංඛ්‍යාව 1068කි. මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 744 දෙනෙක් වාර්තා වූහ. වෛද්‍ය අනිල් දිසානායක මහතා පැවසුවේ, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගීන් 500 දෙනෙකු වාර්තා වන බව ය. වෛරස් උණ රෝගය හේතුවෙන් වාර්තා වී ඇති ළමා මරණ සංඛ්‍යාව 13කි. ඊට අමතරව වැඩිහිටි මරණ 5ක් ද වාර්තා වී තිබේ. මේ අතර දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගය වැළැක්වීම සඳහා ඉන්ෆ්ලුවෙන්සා ප්‍රතිශක්තීකරණ එන්නත ලබා දීම සම්බන්ධයෙන් අධ්‍යයනයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අංශ ඊයේ ප්‍රකාශ කළේ ය. දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ප්‍රකාශ කළේ, විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත විද්වත් මණ්ඩලයකින් එම අධ්‍යයනය සිදු කෙරෙන බව ය.