ගෝඨාභයගේ පෙත්සම විභාගයෙන් විනිසුරුවරියක් ඉවත් වෙයි

ගෝඨාභයගේ පෙත්සම විභාගයෙන් තවත් විනිසුරුවරියක් ඉවත් වෙයි

by Chathuranga Rajapaksha 01-06-2018 | 6:27 PM

COLOMBO (News 1st) - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමාව අත්අඩංගුවට ගැනීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ගන්නා උත්සාහය වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබු පෙත්සම් විභාගයෙන් තමා ඉවත් වන බව ජ්‍යෙෂ්ඨ විනිසුරු මූර්දූ ප්‍රනාන්දු මහත්මිය ඊයේ දැනුම් දී තිබේ.

ඒ, අනුව එම පෙත්සම වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේදී කැඳවීම සඳහා නොවැම්බර් මස 27 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කර තිබු එම අභියාචනා පෙත්සම සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය හා සරත් ආබෲ යන විනිසුරුවරුන් පෙත්සම විභාගය අවසන් වනතුරු ඔහුව අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. එම අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය පෙත්සම විභාග කිරීමෙන් ඉවත් වූ අතර පසුව අගවිනිසුරුවරයා පත්කළ විනිසුරු මඩුල්ලෙන් බුවනෙක අලුවිහාරේ හා ප්‍රියන්ත ජයවර්ධන යන විනිසුරුවරුන් ද පෞද්ගලික හේතුන් මත බව දන්වමින් ඉවත් විය. ඒ, අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ පෙත්සම විභාගයෙන් මේ දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 4 දෙනෙකු ඉවත් වී තිබේ. මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කර ඇති අභියාචනා පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරු ජනත් ද සිල්වා මහතා ඊයේ ඉවත් විය. තමා ඇතුළු 8 දෙනෙකුට එරෙහිව පවරා ඇති ඇවන්ගාඩ් නඩුවේ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබේ.