උෂ්ණාධික කාලගුණයෙන් විභාග ප්‍රතිඵලවලට බලපෑම්

උෂ්ණාධික කාලගුණය විභාග ප්‍රතිඵලවලට බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් හෙළි වෙයි

by Staff writer 01-06-2018 | 9:53 AM
(News 1st) - අධික උෂ්ණත්වයක් පැවති වසරවල විභාගවලදී ශිෂ්‍යයින් අඩුවෙන් දක්ෂතා දැක්වීමට ඉඩ ඇති බව හාවර්ඩ් සහ අමෙරිකාවේ වෙනත් විශ්වවිද්‍යාලවල පර්යේෂකයින් විසින් සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබේ. පර්යේෂකයින් පෙන්වා දෙන්නේ, ඉහළ උෂ්ණත්වය සහ අවම පාසල් දක්ෂතා අතර සැලකිය යුතු සම්බන්ධයක් ඇති බව ය. උෂ්ණ අධික කාලගුණය ප්‍රතිඵලවලට අයහපත් බලපෑමක් එල්ල කරන බව වසර 13ක් තුළ අමෙරිකානු ද්විතීක පාසල් සිසුන් මිලියන 10කගේ විභාග ලකුණු විශ්ලේෂණය කිරීමෙන් අනාවරණය වී තිබේ. ඒ සඳහා ප්‍රායෝගික විසඳුමක් වශයෙන් වායුසමීකරණ භාවිත කළ හැකි බව පර්යේෂණ වාර්තාවේ සඳහන් ය. ග්‍රීෂ්ම සමයේ විභාග සඳහා පෙනී සිටින සිසුන් තමන්ට උෂ්ණාධික කාලගුණය බාධාවක් වූ බවට බොහෝ විට මැසිවිලි නගන බව ද එහි දැක්වේ. උෂ්ණත්වය ඉහළ යන විට පාසල් දක්ෂතා පහළ යාම පළමු වරට පැහැදිලි සාක්ෂි ඇතිව ඉදිරිපත් කිරීමට හාවර්ඩ්, කැලිෆෝනියා, ලොස් ඇන්ජලීස් සහ ජෝර්ජියා යන ප්‍රාන්තවල විශ්වවිද්‍යාල පර්යේෂකයන් සමත්ව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. අමෙරිකාවේ වෙනස් දේශගුණික තත්ත්වයන් සහ කාලගුණ රටා තුළ පාසල් සිසුන් 2001 සහ 2014 කාල සීමාවේ අදාළ වර්ෂවල විභාගවලදී දක්වන ලද දක්ෂතා පර්යේෂකයින්ගේ අවධානයට ලක්ව තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ, උෂ්ණාධික කාලගුණයකදී පාසල් තුළ ඉගෙනීමේ කටයුතු අපහසු වන බව ය. එමෙන් ම පාසල් වේලාවෙන් පසු නිවසේදී සිදු කිරීමට පැවරෙන අධ්‍යාපන කටයුතු ද උෂ්ණාධික කාලගුණයකදී අපහසු කරවන බව හෙළිව තිබේ. වසරකට ඉහළ යන සෑම සෙල්සියස් අංශක 0.5‍5කට ම ඉගනීමේ දක්ෂතා 1%ක් පහළ යන බව පර්යේෂකයින් විසින් ගණනය කර ඇතැයි සඳහන් ය. ශීත දිනවල අධ්‍යාපන ඉලක්කයන්ට බාධා එල්ල වන බවක් පෙනෙන්නට නොමැති අතර අයහපත් බලපෑම ගණනය කිරීමට හැකි මට්ටමට පැමිණෙන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 21 ඉක්ම වූ පසුව ය. ඉගෙනීමට ඇති හැකියාව අවම වීම වඩාත් ඉහළ යන්නේ, උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 දක්වා ඉහළ ගිය විට ය. අඩු ආදායම් ලාභී සහ සුළුතර ජන ප්‍රජාවලට අයත් සිසුන්ට උෂ්ණත්වයෙන් සිදුවන බලපෑම වඩාත් වැඩි බව ද පර්යේෂණ වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන් වේ.