ලෙස්ටර්ගේ සම්මානය සුමිත්‍රා පීරිස්ට භාර දෙයි

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සොරා ගත් සම්මානය සුමිත්‍රා පීරිස්ට භාර දෙයි

by Chathuranga Rajapaksha 01-06-2018 | 4:01 PM

COLOMBO (News 1st) - ප්‍රවීණ සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී පිරිනැමුණු සොරා ගත් සම්මානය අද පෙරවරුවේ සුමිත්‍රා පීරිස් මහත්මියට භාර දුන්නේ ය.

ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා පසුගිය 5 වන දා ලබා දුන් නියෝගයට අනුව ය. අද පෙරවරුවේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසට පැමිණි පොලිස් නිලධාරීහු සම්මානය, සුමිත්‍රා පීරිස් මහත්මිය අතට ලබා දුන්හ. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණු පසුගිය 2 වන දා නිවසේ තිබියදී අදාළ සම්මානය සහ දුරකතනයක් අස්ථානගත විණි. පසුව එය කඩුවෙල - කොල්ලුපිටිය බස් රථයක ගමන් මළු රඳවනයේ තිබීයදී සොයා ගැනුණේ, බස් රථයේ රියැදුරු සහ රිය සහයකයා පොලීසියට කළ දැනුම් දීමකට අනුව ය. සිද්ධිය සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් 6 දෙනෙකු පසුගිය 7 වන දා අත්අඩංගුවට ගැනිණි. ඉන් සැකකරුවන් 5 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර අනෙක් සැකකරු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේ ය. ජීවිතේ එක් වරක් පමණක් අද්විතීය සිනමාකරුවෙකුට හිමි වන ඉන්දීය යාවජීව කර්තව්‍ය සම්මානය 2000 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට පිරිනැමුණේ 31 වන ඉන්දියානු අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේදී ය. ඒ, ඔහු සිනමාවට කළ අමිල මෙහෙවර අගයමිනි.