අර්ජුන මහේන්ද්‍රන් මෙරටට භාර දෙන්නැයි ඉල්ලීමක්

අර්ජුන මහේන්ද්‍රන් මෙරටට භාර දෙන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව සිංගප්පූරුවෙන් ඉල්ලයි

by Staff writer 01-06-2018 | 6:45 AM
COLOMBO (News 1st) - මහ බැංකු බැඳුම්කර වංචාවේ සැකකරුවෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඉදිරි විමර්ශන කටයුතු සඳහා මෙරටට භාර දෙන්නැයි සිංගප්පූරු රජයෙන් ලිඛිත ඉල්ලීමක් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. නීතිපති ජයන්ත ජයසූරිය මහතා ප්‍රකාශ කළේ, අදාළ ඉල්ලීමට ප්‍රතිචාර ලැබුණු පසු එරට රජයේ දැනුම් දීම මත අවශ්‍ය ඕනෑම අවස්ථාවක විශේෂ කණ්ඩායමක් සිංගප්පූරුව වෙත යැවීමට සැලසුම් කර ඇති බව ය. ඔහු මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු නීතිමය සහයන් සිංගප්පූරු රජයට ලබා දීමට කටයුතු කරන බව ද නීතිපතිවරයා ප්‍රකාශ කළේ ය. මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සඳහා සිව් පුද්ගල කණ්ඩායමක් ද ක්‍රියාත්මක ය. ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ රැඳී සිටින බව ජාත්‍යන්තර පොලීසිය තහවුරු කළේ ය. නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය 24 වන දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ, ජාත්‍යන්තර පොලීසියේ සිංගප්පූරු ශාඛාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එය නිල වශයෙන් දැනුම් දී ඇති බව ය. හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මේ වන විටත් ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන ද නිකුත් කර අවසන් ය.