වර්ජනයේ නිරත තැපැල් සේවකයින් හා තැපැල්පති අතර අද තව ත් සාකච්ඡාවක්

වර්ජනයේ නිරත තැපැල් සේවකයින් හා තැපැල්පති අතර අද තව ත් සාකච්ඡාවක්

කර්තෘ Staff writer

21 Jun, 2018 | 6:25 am

COLOMBO (News 1st) – වර්ජනයේ නිරත තැපැල් වෘත්තිය සමිති සහ තැපැල්පතිවරයා අතර තව ත් සාකච්ඡාවක් අද පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඒ, තැපැල් වෘත්තිය ක්‍රියාමාර්ගයට මුල් වූ බඳවා ගැනීම් පටිපාටියේ වැටුප් තල සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

දින 11 ක් පුරා ක්‍රියාත්මක වැඩ වර්ජනය අවසන් එකඟතාවකට පැමිණෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසුවේ ය.

ඔහු සඳහන් කළේ, වැඩ වර්ජනය හේතුවෙන් මධ්‍ය තැපැල් හුවමාරුවේ පමණක් ලිපි ලක්ෂ 15 ක් පමණ ගොඩගැසී ඇති බවයි.

වැඩ වර්ජනය හේතුවෙන් මේ වන විට සමස්ත තැපෑලම බිඳ වැටී ඇතැයි තැපැල් වෘත්තිය සමිති පවසයි.

ඔවුන් සඳහන් කළේ, බිල්පත් ගෙවීම්, විශ්‍රාම වැටුප් ගෙවීම් හා මහජන ආධාර ගෙවීම් ආදී එදිනෙදා සේවා රැසක් අඩාල වී ඇති බවය.

මේ අතර වර්ජනය හේතුවෙන් විදෙස් තැපෑලට යොමු කරන ලිපි හා පාර්සල් මෙන් ම විදේශයන්ගෙන් ලැබෙන ලිපි හා පාර්සල් රැසක් ද කටුනායක ගුවන්තොටුපොළේ ගොඩ ගැසී ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළහ.

මේ අතර තැපැල් සේවක වැඩ වර්ජනය හේතුවෙන් විභාග රැසක ප්‍රවේශ පත්‍ර හා ඉල්ලුම්පත් මේ වනවිට අතර මග සිරවී තිබේ.