වර්ජනයෙන් ගොඩ ගැසුණු ලිපි බෙදා හැරීම අද සිට

වර්ජනයෙන් ගොඩ ගැසුණු ලිපි බෙදා හැරීම අද සිට

වර්ජනයෙන් ගොඩ ගැසුණු ලිපි බෙදා හැරීම අද සිට

කර්තෘ Staff writer

27 Jun, 2018 | 7:10 am

COLOMBO (News 1st) – වැඩ වර්ජනය හේතුවෙන් ගොඩ ගැසුණු ලිපි බෙදා හැරීම අද සිට ආරම්භ කරන බව තැපැල් වෘත්තීය සමිති පවසයි.

තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, දින 16ක් පුරා ක්‍රියාත්මක වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ හා තැපැල් කාර්යාලවල ලිපි ලක්ෂ 15ක් පමණ ගොඩ ගැසුණු බව ය.

මීට අමතරව විදේශීය තැපෑල මගින් ලැබුණු තැපැල් මළු දහස් ගණනක් ද කටුනායක ගුවන්තොටුපොළේ ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

තැපැල් අමාත්‍යවරයා හා තැපැල් බලධාරීන් සමග ඊයේ පැවැති සාකච්ඡාවලින් පසුව ඇති කර ගත් එකඟතා මත ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය තාවකාලිකව අතහැර දැමීමට තැපැල් වෘත්තීය සමිති තීරණය කළේ ය.

කෙසේ වෙතත් බඳවා ගැනීමේ පටිපාටියට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලා ආරම්භ කර ඇති උපවාසය තවදුරටත් ක්‍රියාත්මක බව චින්තක බණ්ඩාර මහතා පැවසුවේ ය.

වර්ජනයට තුඩු දුන් ගැටලු සඳහා ලබා දෙන විසඳුම් පිළිබඳව තැපැල් සේවා අමාත්‍යවරයා, අමාත්‍යංශ ලෙකම්වරයා හා තැපැල්පතිවරයා සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කළ ද ඔවුහු දුරකතනවලට ප්‍රතිචාර නොදැක්වූහ.