දුම්රිය වර්ජනය තවදුරටත්...

දුම්රිය වර්ජනය තවදුරටත්: දුම්රිය ගමන් සාමාන්‍ය පරිදි

by Hashini De Mel 31-05-2018 | 5:58 AM

COLOMBO (News 1st) - තම වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් දීර්ඝ කිරීම පිළිබඳ අද තීරණය කරන බව දුම්රිය තාක්ෂණික සේවා නිලධාරීන්ගේ වෘත්තිය සමිති කමිටුව පවසයි.

එහි ලේකම් කමල් පීරිස් මහතා ප්‍රකාශ කළේ, තම සංගමයට එල්ල කරන අනිසි චෝදනා සහ වර්ජනයේ නිරත සේවකයින් සේවය හැර ගියා සේ සලකන බවට කරන තර්ජනවලට විරෝධය පළ කරමින් අද පස්වරුවේ අවසන් කිරීමට නියමිත වැඩ වර්ජනය තව ත් පැය 48 කින් දීර්ඝ කිරීමට එහිදී තීරණය කරන බවයි. වර්ජනයක් පැවතිය ද ඊයේ දිනයේ දුම්රිය ගමන් වාර දෙකක් හැරෙන්නට සෙසු සියලු දුම්රිය ගමන් වාර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට හැකි වූ බව දුම්රිය බලාධාරීන් පැවසූහ. අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි ආචාර්ය විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේ, වර්ජනය අතරතුර දුම්රිය එන්ජින් කිහිපයක ඇති වූ හදිසි කාර්මික දෝෂ හා සංඥා පද්ධතියට විවිධ ප්‍රදේශවල කළ හානි කිරීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවයි. එම පරීක්ෂණ මේ වනවිට ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේ ය. මේ අතර අදාළ කාර්මික දෝෂවලට ලක් වූ දුම්රිය එන්ජින් මේ වනවිට අලුත්වැඩියා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කර තිබේ. කෙසේ වෙතත් ජනතාව පැවසූවේ, රාජ්‍ය දේපලවලට හානි කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.