සභාපතිතුමනි, අවලාද නොකියා තොප්පිය හරි නම් දාගන්න

ක්‍රිකට් සභාපතිතුමනි, අවලාද නොකියා තොප්පිය හරි නම් දාගන්න...

by Sagarika Chathumali 31-05-2018 | 9:07 PM

COLOMBO (News 1st) : අද පැවැත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට වාරණ නියෝගයක් පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා මාධ්‍ය හමුවක් කැඳවමින් කරුණු පැහැදිලි කළේ ය.

එම මාධ්‍ය හමුවේදී ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා නිවුස් ෆස්ට් පළ කළ වාර්තාවක් සම්බන්ධයෙන් ද අදහස් පළ කළේ ය. "ගාල්ල ක්‍රීඩාංගණයේ අල් ජසීරා එක ගියාම ඒකත් මාව පටලවා ගන්නවා මම දන්නේ ඒක අවාම. ඊට පස්සේ අර ප්‍රේමසිරි මරපු එක ගේනවා සිරස නාලිකාවේ නිව්ස් වලට ස්පෝර්ට්ස් එකේ ගෙනවා කෙලින්ම ප්‍රේමසිරි මරපු එකේ අල් ජසීරා එකේ වාර්තාව අනුව මොකක්ද ලමයෙක් දාපු නැති මොකක්ද එකක්. ප්‍රේමසිරි මගේ මිත්‍රයා මම ඔහුව ඝාතනය කරපු එක ගරන කනතාටු වනවා.ප්‍රේමසිරිලා අපි අවුරුදු ගානක එකට ක්‍රිකට් ගහපු අය. එයාලගේ පවුල උදවියේ අය මට සමීපයි. එගොල්ලොම මට ඇවිල්ලා කිව්වා මේක මට පෙෘද්ගලික ප්‍රශ්නයක්. අපි හොදටම දක්කවා මේ ප්‍රශ්නේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා සමහර අය දැන් අත්අඩංගුවේ පරීක්ෂන කරමින් යනවා කියලා. ඒ වගේම එගොල්ලගේ දරුවෝ ගැන අපි පරිස්සමින් කල්පනා කරලා එගොල්ලන්ට උදවු කරන්න. අවබෝධයකින්. ඉතින් ඒ වගේ ප්‍රබල මාධ්‍යයක නිව්ස් එකේ ඡන්දෙට නඩුවක් දැම්මම අල්ජසීරා එකේ රිපෝට් එක අරන් කියනවා ප්‍රේමසිරි මරලාත් ඇත්තේ පිච් ෆික්සිං හින්දද දන්නේ නැහඅ කියලා. ඒ වගේ පහත් මට්ටමේ ඒ වගේ දෙව්ල අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. සිරස ආයතනයට මගේ ගෞරවයක් තියෙනවා. ඒ හැම එක්කානම එහෙම නැහැ. හැබැයි මම කියන්න එනේ ඒවා බොහොම පහත් වැඩ ඒ මරනෙයි මගේ සම්බන්ධෙ මොකකද්. අපේ සම්බන්දේ මොකක් ද?" ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හා නිලධාරීන් තරඟ පාවාදීමකට සම්බන්ධ අල් ජසීරා රූපවාහිනී ආයතනය විකාශය කළ වාර්තාවක් සම්බන්ධයෙන්, නිවුස් ෆස්ට් පුලුල් අනාවරණයක් පසුගිය දිනවලදී සිදු කළේ ය. එහිදී නිවුස් ෆස්ට් මුලාශ්‍ර හා ලිපි ලේඛන සහිතව පෙන්වා දුන්නේ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිදු වු බව කියන අදාළ තණතිලි පිළිබඳ තරඟ පාවා දීම පිටු පස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ද දන්නා පසුබිම් කථාවක් තිබෙන බවයි. ගාල්ල ක්‍රිකට් සංගමයේ ලේකම්වරයා ලිඛිතව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයාට දැනුම් දී තිබුණේ, චෝදනා එල්ල වන ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා 2 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තණතිල්ල සැකසීම සඳහා පළපුරුදු, සුදුසුදකම් ලත්, කණ්ඩායමක් සිටියදී ඒ සඳහා කොළඹින් කණ්ඩායමක් එවීම සැකයට තුඩු දෙන බවයි. එලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එදා තරඟ පාවාදීමක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් සිදු කළේ, නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරින් මිය ගිය හැලබගේ ප්‍රේමසිරි මහතායි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එදා චෝදනාවට ලක්ව තිබෙන ගාලු ටෙස්ට් තරගයට කොළඹින් විශේෂ කණ්ඩායමක් යොමු කිරීමට බලපෑ හේතු කවරේ ද? එදා එලෙස කොළඹින් යොමු කළ කණ්ඩායමේ සාමාජිකයෙකු වන තරංග ඉන්දික නමැත්තා අල් ජසීරා රූපවාහිනී වාර්තාවට අනුව තරග පාවාදීම්වලට හවුල්වී තිබේ. එදා තරංග ඉන්දික සහකාර කළමනාකරු ලෙස ගාල්ල ක්‍රීඩාංගණයට යොමු කරනුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුදැනුම ද සහිතවයි. නිවුස් ෆස්ට් මේ අවස්ථ සම්බන්ධය සාකෂි සමග හෙළි කළේ ය. ක්‍රිකට් ආයතන සභාපතිතුමනි, අපි ඔබට ගෞරව කරන්නෙමු. ඔබම කියන පරිදි ඝාතනයට ලක් වූ ප්‍රේමසිරි මහතා ඔබගේ මිතුරෙකු නම් එකට ක්‍රිකට් ක්‍රීඩා කර අයෙකු නම් පවුලේ මිත්‍රයෙකු නම් මීට වසර 2 ට පෙර ප්‍රේමසිරි මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තරග පාවාදීමකට ඉඩ ඇතැයි අනතුරු අගවමින් යොමු කළ ලිපිය සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගක් නොගත්තේ ඇයි? අප සතුව ඇති එම ලිපිය මීට පෙර ඔබ හෙළි කළේ, නම් මීට වසර දෙකකට පෙර එවන් තරග පාවාදීමක් වළක්වා ගැනීමට හැකි වනවා සේම අල්ජසීරා ආයතනයට මෙලෙස තොරතුරු වාර්තා කිරීමට අවස්ථාවක් උදා නොවනු ඇති. දැන් අපට ලැබෙන් අලුත්ම තොරතුරුවලට අනුව ඊයේ සිට ගාල්ල තණතිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භවී තිබේ. මේ උත්සහ ගනු ලබන්නේ ගාල්ල තණතිල්ලේ සඟව ඇති සාක්ෂි වසන් කිරීමට ද? තවත් අවස්ථා සම්බන්ධයක් පිළිබඳව තොරතුරු අප සතු වන අතර එය වාර්තා කිරීමට අපට අවස්ථාවක් නොදෙන්න. ජනාධිපති නීතීඥ, ෆියිසර් මුස්තාපා ක්‍රීඩා අමාත්‍යතුමනී මේ පිළිබඳව වහා සොයා බලා පරීක්ෂණයක් පැවැත් විය යුතු නොවේ ද? විමර්ශන කටයුතු අවසන් වන තෙක් බැඳුම්කර ගනුදෙනුවලට සම්බන්ධ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම මුද්‍රා තැබුවා සේ, ගාල්ල ක්‍රීඩාංගණයට මුද්‍රා තැබිය යුතු නොවේ ද? රටේ කීර්තිය කෙලෙසන මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විශේෂ විමර්ශනයක් සිදු කළ යුතු නොවේ ද?