වැසි ලැබුණත් ජලාශ්‍රවල ජල ධාරිතාවේ වැඩි වීමක් නැහැ

වැසි ලැබුණත් ජලාශ්‍රවල ජල ධාරිතාවේ සැලකිය යුතු වැඩි වීමක් නැහැ - වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි

by Staff writer 30-05-2018 | 12:05 PM
COLOMBO (News 1st) - වැසි ලැබුණ ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ජලාශ්‍රවල ධාරිතාවේ සැලකිය යුතු වැඩි වීමක් සිදුව නොමැති බව එම දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ වසන්ත බණ්ඩාර පලුගස්වැව මහතා ප්‍රකාශ කළේ, 40% ක පැවති ජලාශ්‍රවල ජල මට්ටම 49%ක් දක්වා ඉහළ ගිය බව ය. ජලාශ්‍ර 10 කට අධික සංඛ්‍යාවක් වාන් මට්ටමේ පවතින බව ද ඔහු සඳහන් කළේ ය. පලුගස්වැව මහතා පැවසුවේ, එහෙත් බොහෝ ජලාශ්‍රවල ජල මට්ටම තවදුරටත් පහළ අගයක පවතින බව ය. මේ හේතුවෙන් යල කන්නයේ වගා අපේක්ෂාව සමස්ත බිම් ප්‍රමාණයෙන් 45%කට පමණ සීමා කිරීමට සිදු වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත් මහවැලි ජලාශ්‍රවල සමස්ත ධාරිතාව 80% ක් දක්වා මේ වන විට ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, මෙවර යල කන්නයේ මහවැලි ව්‍යාපාරය යටතේ හෙක්ටයාර් ලක්ෂයක් දක්වා වී වගා කිරීමට මෙමගින් අවස්ථාව ලැබී ඇති බව ය. මේ අතර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් වැව්වල ජල ධාරිතාව ඉහළ යාමට වර්ෂාවෙන් වැඩි බලපෑමක් සිදුව නොමැති බව එහි ජල කළමනාකරණ අංශය පවසයි. එහි අධ්‍යක්ෂ ප්‍රභාත් විතාරණ මහතා පැවසුවේ, ජල කළමනාකරණ කමිටු රැස්වීමෙන් පසු යල කන්නයේ වගා කළ හැකි ඉඩම් ප්‍රමාණය තීරණය කරන බව ය.