රන්ගිරි දඹුලු රජ මහා විහාරයේ සංරක්ෂණ කටයුතු

කලක සිට නතර වී තිබුණු රන්ගිරි දඹුලු රජ මහා විහාරයේ සංරක්ෂණ කටයුතු යළි අරඹයි

by Staff writer 30-05-2018 | 9:45 AM
COLOMBO (News 1st) - ලෝක උරුම රන්ගිරි දඹුලු රජ මහා විහාරයේ සංරක්ෂණ කටයුතු යළිත් අනිද්දා ආරම්භ කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ, විෂය භාර අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ අස්ගිරි පාර්ශවයේ ස්වාමීන් වහන්සේ සමග කළ සාකච්ඡාවකින් අනතුරුව ය. හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මීට පෙර එහි සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට උත්සහ කළ අතර එහිදී විහාරාධිපති හිමියන් ඇතුළු අස්ගිරි පාර්ශවයේ මහා සංඝරත්නය සමග ඇති වූ ගැටලුවක් මත එම සරක්ෂණ කටයුතු නතර කිරීමට සිදුවිණි. ඒ අනුව වසරකට ආසන්න කාලයක් දඹුලු විහාරයේ සංරක්ෂණ කටයුතු සිදු නොවී ය. අනිද්දා සිට ඇරඹෙන විහාරයේ සංරක්ෂණ වැඩසටහන යටතේ චිත්‍ර හා මූර්ති ,වාස්තු විද්‍යාත්මක හා යටිතල පහසුකම් සංවර්ධනය යන අංශ තුනක් යටතේ සිදු කෙරෙනු ඇති. එය වසර දෙකකින් අවසන් කිරීමට නියමිත ය. ලෝක උරුම රන්ගිරි දඹුලු රජ මහා විහාරය මීට පෙර අවසන් වරට ප්‍රතිසංස්කරණයකට ලක් කළේ 1990 වර්ෂයේදී ය. ගුහා 5කින් සමන්විත මෙම විහාරය සැලකෙන්නේ ආසියාවේ විශාලතම ගුහා සිතුවම් සහිත පුරාවිද්‍යා ස්ථානයක් ලෙස ය.