දුම්රිය දෙපාර්තමේන්තුවෙන් CIDයට පැමිණිල්ලක්

දුම්රිය එන්ජින් හා දේපලවලට හානි කිරීමේ සිද්ධි පිළිබඳව CIDයට පැමිණිල්ලක්

by Staff writer 30-05-2018 | 10:52 AM
COLOMBO (News 1st) - දුම්රිය තාක්ෂණ නිලධාරීන්ගේ වැඩ වර්ජනය අතරතුර දුම්රිය එන්ජින් හා දේපලවලට හානි කිරීමේ සිද්ධි පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, දුම්රිය ධාවනාගාරවල නවතා තිබූ එන්ජින් කිහිපයකට හා ලුණුවිල දුම්රිය ස්ථානය ඇතුළු දුම්රිය මාර්ගවල ස්ථාන කිහිපයකට කඩාකප්පල්කාරී පිරිස් විසින් හානි කර ඇති බව ය. මේ හේතුවෙන් අද උදෑසන ධාවනය කිරීමට නියමිතව තිබූ කොටුව සිට පානදුර බලා ධාවනය කිරීමට සැලසුම් කර තිබූ දුම්රියක් හා කොළඹ කොටුව සිට පොල්ගහවෙල බලා ධාවනය කිරීමට සැලසුම් කළ දුම්රියක් අවලංගු කිරීමට සිදුවූ බව විජය සමරසිංහ මහතා පැවසුවේ ය. සංඥා පද්ධතියට කළ හානි හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ද සිදුව තිබේ. මේ අතර දැනට වර්ජනයේ නිරත දුම්රිය තාක්ෂණ නිලධාරී වෘත්තීය සමිති කමිටුවේ සභාපති සම්පත් රාජිත මහතා පැවසුවේ, තම කණ්ඩායම් මෙම සිද්ධිවලට සම්බන්ධ නොමැති බව ය. ඊයේ පස්වරුවේ ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හෙට පස්වරුව දක්වා ක්‍රියාත්මක බව ද ඔහු පැවසුවේ ය.