තාක්ෂණික ශීල්පීන්ගේ වර්ජනයෙන් දුම්රිය ධාවනයට බාධා

තාක්ෂණික ශිල්පීන්ගේ වැඩ වර්ජනයෙන් දුම්රිය ධාවනයට බාධා

by Staff writer 30-05-2018 | 7:42 AM
COLOMBO (News 1st) - දුම්රිය තාක්ෂණික සේවා වෘත්තීය සමිති කමිටුව ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් ඇතැම් දුම්රිය නියමිත වේලාවට ධාවනය කිරීමට නොහැකි වී තිබේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ඊයේ රාත්‍රී තැපැල් දුම්රිය නියමිත වේලාවට ධාවනය කිරීම සඳහා තාක්ෂණික සේවා නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් බාධා එල්ල වූ බව ය. කෙසේ වෙතත් අද අලුයම සාමාන්‍ය කාල සටහන් අනුව දුම්රිය ධාවනයට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද පාලක මැදිරි ප්‍රකාශකයෙකු පැවසුවේ ය. මේ අතර ඊයේ පස්වරුවේ ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බව දුම්රිය තාක්ෂණික සේවා වෘත්තීය සමිති කමිටුව පවසයි. එහි සභාපති සම්පත් රාජිත මහතා සඳහන් කළේ, වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව ය. වර්ජනය හේතුවෙන් සියලු අනියම් සේවකයින්, ආදේශක සේවකයින් සහ කොන්ත්‍රාත් පදනම මත සිටින තාක්ෂණික සේවයට අයත් දුම්රිය සේවකයින් වහා සේවයට වාර්තා කරන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරී මෙහෙයුම් විජය සමරසිංහ මහතා සඳහන් කළේ ය. මේ අතර දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ, දුම්රිය ධානවය අඩාල කිරීම සඳහා තාක්ෂණික ශිල‍්පීන් විවිධ කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කර ඇති බව ය. තාක්ෂණික නිලධාරීන් විසින් දුම්රිය එන්ජින් කිහිපයක සුළු කොටස් කිහිපයක් ගලවාගෙන ගොස් ඇති බව ලාල් ආරියරත්න මහතා සඳහන් කළේ ය. මේ වන විට වාර්තා වී ඇති කඩාකප්පල්කාරී ක්‍රියා සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විජය සමරසිංහ මහතා සඳහන් කළේ ය.