ආරාධිත නෙට්බෝල් තරගාවලියේ ශූරතාවය ලංකාවට

ආරාධිත නෙට්බෝල් තරගාවලියේ ශූරතාවය ලංකාවට

by Hashini De Mel 30-05-2018 | 8:00 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා කණ්ඩායම සිව්කොන් ආරාධිත නෙට්බෝල් තරගාවලියේ කුසලානය දිනා ගෙන තිබේ.

ඒ, අවසන් තරගයේදී ආසියානු ශූර සිංගප්පුරුව පරාජය කරමිනි. ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය සංවිධානය කළ මෙම තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී දින 4 ක් පැවැත් විය. තරගාවලිය සඳහා සහභාගී වූයේ, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම, සිංගප්පූරු ජාතික කණ්ඩායම, ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම හා එංගලන්තයේ පී ස්ටාර් ක්‍රීඩා සමාජයයි. න්වන ස්ථානය සඳහා පැවති තරගයේදී ගෝල 80 ට 22 ක් ලෙස ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම හමුවේ එංගලන්තයේ පී ස්ටාර් ක්‍රීඩා සමාජය පරාජයවී තිබේ. අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම සමග තරග කළේ, සිංගප්පූරු ජාතික කණ්ඩායමයි. ආරම්භයේ සිටම උණූසුම් මුහුණුවරක් ගත් තරගයේ පළමු කාර්තුව ගෝල 21 ට 18 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ ය. වසර ගණනක් ශ්‍රී ලංකාවේ ප්‍රබලතම ප්‍රතිවාදීන් වූ ලෝක ශ්‍රේණිගත කිරීම්හි ආසියාවේ අංක එකේ ස්ථානයේ පසුවන සිංගප්පූරු කණ්ඩායමට දැඩි අභියෝගයක් එල්ල කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගයේ දෙවන කාර්තු ද ජයගත්තේ පිළිවෙලින් ගෝල 20 ට 16 ක් ලෙසයි. නමුත් තරගයේ තුන්වන කාර්තුවේදී ක්‍රියාත්මක වූ සිංගප්පූරූ කණ්ඩායම එම කාර්තුව ගෝල 19 ට 15 ක් ලෙස ජය ගත්තේ ය. සිව්වන කාර්තුව ද තියුණු තරගයකින් පසුව ගෝල 17 ට 16 ක් ලෙස ජය ගැනිමට සමත් වූයේ සිංගප්පූරු කණ්ඩායමයි. කෙසේ වෙතත් තරගයේ අවසන් ලකුණු සටහන දැක්වූයේ ගෝල 72ට 70 ක් ලෙස ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමට ජය හිමිකර දෙමිනි.