පැන ගිය එක් සිරකරුවෙක් අල්ලා ගනී

පැන ගිය සිරකරුවෙක් අල්ලා ගනී : 5 දෙනා සොයා පුළුල් විමර්ශන

by Sagarika Chathumali 29-05-2018 | 11:49 AM

COLOMBO (News 1st) : බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී පළා ගිය රැඳවියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, බද්දේගම ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අදාළ රැඳවියා අත්අඩංගුවට ගත් බවයි. බන්ධනාගාර නිලධාරින්ට පහරදුන් ප්‍රධාන සැකකරු ඊයේ දිනයේ ම අත්අඩංගුවට ගත් බව ඔහු සඳහන් කළේ ය. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, සෙසු රැඳවියන් සොයා පොලිසිය සමග ඒකාබද්ධව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. මේ අතර අදාළ රැඳවියන් පලා යාම සම්බන්ධයෙන් මාතර බන්ධානාගාර සහකාර අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ. එසේම පලා ගිය ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් සෙවීමට බන්ධනාගාර නිලධාරීන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ ය. ඊයේ දිනයේ දී බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වීමට නියමිතව තිබූ නඩුවලට අදාළව ඇඟිලි සලකුණු ලබා ගැනීමට රැදවියන් යොමු කළ අවස්ථාවේදී මෙම රැඳවියන් 06 දෙනා බන්ධනාගාර නිලධාරීන්ට පහර දී පලා ගොස් තිබිණ.