දුම්රිය සේවක නිවාඩු අවලංගුයි

 දුම්රිය සේවක නිවාඩු අවලංගුයි

by Sagarika Chathumali 29-05-2018 | 3:03 PM

COLOMBO (News 1st) : දුම්රිය තාක්ෂණික සේවා වෘත්තීය සමිති අද පස්වරු 4.00 සිට, පැය 48 ක සංඛේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වීම හේතුවෙන් සියලු දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇතැයි, ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පි.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා පැවසුවේ, ක්‍රියාත්මක කිරීමට නියමිත සංකේත වැඩ වර්ජනය හේතුවෙන් මහජනතාව අපහසුතාවට පත්විම වැළැක්වීම සඳහා අද පස්වරුවේ සිට විශේෂ බස් සේවා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි. කෙසේ වෙතත් දුම්රිය නියාමකවරුන්, රියැදුරන්, ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලක, අධික්ෂණ කළමනාකරුවන් ඇතුළු වෘත්තිය සමිති ගණනාවක් මෙම වර්ජනයට එක් නොවන බව දුම්රිය රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා News1st වෙත පැවසී ය. මේ අතර වැටුප් විෂමතා මුල් කර ගනිමින් අද පස්වරු 04 සිට පැය 48 ක සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය තාක්ෂණික සේවා වෘත්තිය සමිති කමිටුව පවසයි. එහි ලේකම් කමල් පීරිස් මහතා ප්‍රකාශ කළේ, ප්‍රවාහන බලධාරීන් සමග පසුගිය දා පැවති සාකච්ඡා අසාර්ථක වූ බවයි. ඉදිරියේදී ද සාකච්ඡා ලබා දෙන බවට බලධාරීන් එකඟවුවත් සිය විධායක සභාව ගත් තීරණයක් අනුව අද මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එළැඹෙන බව දුම්රිය තාක්ෂණික සේවා වෘත්තිය සමිති කමිටුවේ ලේකම් කමල් පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.