COLOMBO (News 1st) - මුදලට ක්‍රිකට් තණතිලි වෙනස් කිරීම සම්බන්ධයෙන් අල්ජසීරා රූපවාහිනිය කළ අනාවරණයත් සමග ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ වංචා රැසක් අනාවරණය වෙමින් පවති.
2016 අගෝස්තු මාසයේදී එවක ගාලු ක්‍රිකට් සමාජයේ ලේකම් හැළඹගේ ප්‍රේමසිරි මහතා වෙඩි තබා ඝාතනය කරන්නේ මෙවැනි සිදුවීමක ප්‍රතිඵලයක් හේතුවෙන් ද ?
2016 අගෝස්තු 12 අම්බලන්ගොඩ, මානිමුල්ල ප්‍රදේශයේ දී, රාත්‍රි 7 ට පමණ සිය පුත්‍රයා සමග මෝටර් රථයෙන් නිවසට පැමිණෙමින් සිටියදී දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ ලේකම් හැළඹගේ ප්‍රේමසිරි මහතා වෙඩි තබා ඝාතනය කෙරුණි.
වෙඩි ප්‍රහාර 10 කට වැඩි ප්‍රමාණයක් ඔහුගේ සිරුරේ තිබූ අතර මෙම ඝාතතනය පිටුපස සැඟවුණ සැබෑ සිද්ධිය සම්බන්ධයෙන් තවමත් හෙළිව නැත.
මුදලට තණතිලි වෙනස් කිරීම පිළිබඳව අල්ජසීරා රූපවාහිනිය සිය අනාවරණය කළේ, ප්‍රේමසිරි මහතා ඝාතනයට ලක්වීමට දින කිහිපයකට පෙර එනම් 2016 වසරේ අගෝස්තු 4 සහ 8 අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති ඕස්ට්‍රේලියා, ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරයි.
තරගපාවා දෙන්නන්ට අවශ්‍ය ආකාරයට, මුදල් ලබාගෙන තණතිල්ල සකස් කිරීම ක් සම්බන්ධයෙන් සිදු කළ රහසිගත සාකච්ඡාවක් ද අල්ජසීරා නාලිකාව විසින් මෙහිදී අනාවරණය කළේ ය.
මෙම අනාවරණයෙන් එහා ගිය තව ත් කරුණු ගණනාවක් ස්පෝට්ස්ෆස්ට් සිදු කළ විමර්ශනයේදී හෙළි විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර තණතිලි සහ පහසුකම් සැපයීමේ කලමණාකරු ලෙස කටයුතු කරන, ගොඩ්ෆ්‍රි දාබරේ මහතා මෙම තරගයට පෙර 2016 වසරේ පෙබරවාරි 3 වන දා එවක දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ ලේකම් ලෙස කටයුතු කළ ප්‍රේමසිරි හැළඹගේ මහතාට යැවූ ලිපියකි මේ.

අභ්‍යන්තර මෙමෝ පතක් ලෙස යවා තිබූ මෙම ලිපියේ සඳහන්ව තිබුනේ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ කාර්යය මණ්ඩලය සඳහා 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කරන බවයි.
එම 15 දෙනා අතර මුදලට තණතිලි වෙනස් කිරීමේ චෝදනා ව එල්ලවූ තරංග ඉන්දිකගේ ද නම සඳහන්ව තිබේ.
ගාල්ල ක්‍රීඩාංගණයේ සහකාර කළමණාකරු ඔහුව පළමුවරට ලෙස පත් කරන ලෙස දන්වා තිබුනේ මේ ලිපියෙනි.
ගොඩ්ෆ්‍රි දාඹරේ මහතාගේ ලිපියට පිළිතුරු ලිපියක් යොමුකරමින් හැලඹගේ ප්‍රේමසිරි මහතා දන්වා තිබුනේ එවක සේවයේ නිරතවූ කාර්යය මණ්ඩලය වසර 15 කට අධික අත්දැකීම් ඇති පිරිසක් හේතුවෙන්, ඔවුන් ඉවත් කර අලුත් කණ්ඩායමක් පත්නොකිරීම අනුමත නොකරන බවය.

ඒ වනවිටත් ජයනන්ද වර්ණවීර මහතාට එල්ලවී තිබූ තරග පාවාදීමේ චෝදනා හේතුවෙන් ගාල්ල ක්‍රීඩාංගණයේ කීර්ති නාමයට හානිවී ඇති බැවින් මෙම ඉල්ලීම පිළිබඳව සලකා බලන ලෙස ද හැළඹගේ ප්‍රේමසිරි මහතා 2016 පෙබරවාරි 25 දින යොමුකළ ලිපියෙන් ගොඩ්ෆ්‍රි දාබරේ මහතාට දන්වා තිබුණි.
එහෙත් මෙම ඉල්ලීම නොසලකා හරිමින් එම වසරේ පෙබරවාරි 29 වන දා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායකගේ අත්සනින් නිකුත් කළ ලිපියක් මගින් ගොඩ්ෆ්‍රි දාබරේ මහතා මුලින් නම් කළ 15 දෙනා අදාළ තනතුරුවලට පත් කළේය.
එම පත්කිරීම් සිදුකළ ලිපියේ සඳහන් වන්නේ, ඕස්ට්‍රේලියා තරග සංචාරය සඳහා පිටිය සැකසීමට සමගාමීව මෙම පත්කිරීම් සිදුකළ යුතු බවවේ.
කෙසේවෙතත් ශ්‍රී ලංකා, ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අවසන්වී දින 6 කට පසුව, එනම් 2016 අගෝස්තු මස 12 වැනි දා හැළඹගේ ප්‍රේමසිරි මහතා ඝාතනය විය.
ඊට අදාළව කන්දේ කලාසි උදය කුමාර නොහොත් "පොඩිපෝල්" හා දසුන් මානවඩු නම් පුද්ගලයින් අත් අඩංගුවට පත් වූ අතර ඔවුන් මේවනවිටත් රක්ෂිත බන්ධානාගාරගතව සිටියි.
සැකකරුවන් මේ දක්වා වරින්වර අධිකරණයට ඉදිරිපත් කළ ද මෙම අපරාධයේ සැබෑ තොරතුරු මේ දක්වා අනාවරණය වී නොමැත.
මේ අතර හැළඹගේ ප්‍රේමසිරි මහතාට වෙඩි තැබීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින දසුන් මානවඩු නමැත්තාගේ පවුලේ ඥාතීන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් පසුගිය දිනවල ඔහුගේ ජීවිතය සම්බන්ධයෙන් ඇති අවදානමක් ද අනාවරණය කර තිබේ.
මුදලට තණතිලි වෙනස් කිරීම, විවිධ පුද්ගලයින්ගේ අවශ්‍යතා මත ගාලු ක්‍රීඩාංගණයේ කාර්යය මණ්ඩලය මාරු කිරීම සහ හැළඹගේ ප්‍රේමසිරි ඝාතනය අතර සම්බන්ධයක් තිබේ ද?
ඝාතනය සිදුවී වසර එකහමාරකට අධික කාලයක්ගත වීමෙන් පසුව මේ සම්බන්ධයෙන් විවිධ කරුණු අනාවරණය වෙමින් පවති.
ස්පෝට්ස්ෆස්ට් වෙත අනාවරණය වූ ලිපි මගින් හෙළිවන කරුණු ද සැලකිල්ලට ගෙන මේ අපරාධය යටපත්වීමට ඉඩ නොදී විමර්ශන කටයුතු විධිමත් කිරීමේ අවශ්‍යතාවක් මතුව තිබේ.