මිනිසුන්, නොමිනිසුන් අතරින් මතු වූ උතුම් මනුස්සකම

මිනිසුන්, නොමිනිසුන් අතරින් මතු වූ උතුම් මනුස්සකම....

by Sagarika Chathumali 29-05-2018 | 12:58 PM

COLOMBO (News 1st) : සිය ජීවිතය පරදුවට තබා තවත් ජීවිතයක් බේරා ගැනීමේ පරාර්ථකාමී සිතුවිලි පහළ වන්නේ උතුම් සිත් ඇති උතුම් මිනිසුන්ට ම හැර අන් කිසිවෙකුට නම් නොවේ.

  අතීතයේ එවැනි උතුම් මිනිසුන් පිළිබඳ ඕනෑ තරම් වාර්තා වුව ද ඉතා මෑතකදී එවැනි විරුවන් දෙදෙනෙකු පිළිබඳව අප රටින් සහ  ප්‍රංශයෙන් වාර්තා විය. මෙම සිදුවීම් දෙකේ වෙනස වන්නේ, ගංවතුරින් විපතට පත්වූ දරුවන් බේරා ගත් අපේ රටේ වීරයා අද ජීවතුන් අතර නැතිවීම සහ විකුම් පා ඊයේ (28) ප්‍රංශ දරුවා බේරාගත් මාලි සරණාගත තරුණයා විරුවෙකු වී පැසසුම් ලබන්නට ජීවතුන් අතර සිටීමයි. සිය ගණනක් ප්‍රංශ නෙත් පහළ සිට බැල්කනියේ එල්ලෙමින් සිටින දරුවා දෙස වික්ෂිප්තව බලා සිටියදී ජීවිත අවදානම නොතකා සිව් හැවිරිදි දරුවා බේරා ගැනීමට ඉදිරිපත් වූයේ, 22 හැවිරිදි මාලි සරණාගතයෙකු වූ මාමෝඩු ගැසාමා නම් තරුණයායි. https://www.youtube.com/watch?v=ka6HoS2wy3A මේ අතර රටේ දරුවකුගේ ජීවිතය බේරා ගැනීමට ඉදිරිපත් වූ මාලි සරණගත තරුණයා වෙනුවෙන් සිය යුතුකම ඉටු කිරීමට ප්‍රංශය රට පෙරට එන්නේ, ඔහුට සිය රටේ පුරවැසිභා‍වය ලබා දෙමිනි. වීර ක්‍රියාවෙන් පසු ප්‍රංශ ජනාධිපති එමානුඑල් මැක්‍රෝන් මාමෝඩු ගැසාමා එල්සි මාලිගයට කැඳවා ඔහුට ස්තුති කරමින් වීරත්වය අගයමින් පදක්කමක් ද පිළිගන්වා තිබේ. මීට අමතරව ඔහුට ප්‍රංශ රජය ගිනි නිවීම් සේවයේ රැකියාවක් ද ලබා දී තිබේ. දරුවා අනතුරට ලක් වන අවස්ථාවේ දරුවාගේ දෙමාපියන් නිවසේ නොසිටීම සම්බන්ධයෙන් ප්‍රංශ බලධාරීන් විසින් විමර්ශන ආරම්භ කරනු ලැබ  තිබේ. පැරිසියේ ගිනි නිවන භටයින් එම ස්ථානයට පැමිණෙන විටත් සරණාගත තරුණයා දරුවා බේරා ගැනීමේ මෙහෙයුම සාර්ථකව අවසන් කර තිබිණ. සිය අත්දැකීම විස්තර කරමින් ගැසමා පවසා ඇත්තේ, ඔහු මාර්ගයේ ඇවිඳිමින් සිටියදී ගොඩනැගිල්ලක් අසල විශාල පිරිසක් රැස්ව සිටිනු දුටු බවයි. "මට හිතන්න වෙලාවක් තිබුණෙ නැහැ. මම පාර හරහා දුවල ගිහින් දරුවා බේරා ගත්තා" "මම උඩට නැග්ගා. දෙවියන්ට ස්තුතියි. දෙවියන්වහන්සේ මට උදව් කළා. මං උඩට ම නැග්ගා. මට උඩට ම නැග ගන්න හොඳ අධිෂ්ඨානයක් තිබුණා. එච්චරයි" ඒ දරුවා බේරා ගැනීමෙන් පසු ගැසමා සිය අත්දැකීම විස්තර කළ ආකාරයයි. මාමෝඩු ගැසාමා කළ මෙහෙයට නොදෙවෙනි කැප කිරීමක් 29 හැවිරිදි පොලිස් කොස්තාපල් ඩිලාන් සම්පත් පසුගිය දා කළේ, සිය තරුණ ජීවිතය ද පරදුවට තබමිනි. https://www.facebook.com/NewsfirstSL/videos/1962609247132657/ නිවාඩුගත කිරීමට පැමිණ නිවසට ගොස් සිටි ඩිලාන් යළි සේවය වාර්තා කරන්නේ, මාදම්පේ කුඩා දරුවන් ඇතුළු බොහෝ දෙනා ගංවතුරේ පොර බදින බවට කන වැකුණු නිසාවෙනි. ඔහු මව්වරුන් කුඩා දරුවන් ඇතුළු කිහිප දෙනෙකුගේ ම ජීවිත බේරා ගැනීමට සමත්විය. ජීවිත රැක දී සිය ජීවිතය දන්දුන් අපේ ඩිලාන් මෙන් ම මාලි සරණාගත තරුණයා ලොව හමුවේ පසක් කළේ, මිනිසුන්, නොමිනිසුන් අතරේ උතුම් සිත් ඇති මිනිසුන් ද මේ මහ පොලොවේ සිටිනා බවයි.