සාර්ක් සිනමා සම්මාන ප්‍රදානෝත්සවය

සාර්ක් සිනමා උළෙලේ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරයා ප්‍රසන්න ජයකොඩි

by Sagarika Chathumali 28-05-2018 | 9:54 AM
COLOMBO (News 1st)  : සාර්ක් සිනමා උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ රාත්‍රියේ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණ ඒ, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. 8 වන වරටත් පැවති සාර්ක් සිනමා උළෙලේදී වසරේ හොඳම සිනමා පටයට හිමි සම්මානය දිනාගත්තේ බංග්ලාදේශ චිත්‍රපට අධ්‍යක්ෂ තවුකීර් අහමඩ්ගේ, හල්දා සිනමා පටයයි. හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය, ප්‍රසන්න ජයකොඩි මහතා දිනා ගත්තේ 28 සිනමා පටය වෙනුවෙනි. 28 සිනමා පටයේ අබසිරිගේ චරිතය නිරූපණය කළ මහේන්ද්‍ර පෙරේරා සාර්ක් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳ ම නළුවා ලෙස සම්මානයට පාත්‍ර විය. ඉන්දීය රංගන ශිල්පිනී වෛශ්නාවී තන්ග්දේ හොඳ ම නිළියට හිමි සම්මානය දිනාගත්තා ය. බහුචිතවාදියා සිනමා පටයේ අධ්‍යක්ෂ මාලක දේවප්‍රිය ජූරියේ විශේෂ සම්මානයකින් පිදුම් ලැබී ය. හොඳම ශබ්ද පරිපාලක ලෙස සම්මාන දිනාගත්තේ බහුචිතවාදියා සිනමා පටය වෙනුවෙන් සසික රුවන් මාරසිංහයි. සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය වාර්ෂිකව සංවිධානය කරන සාර්ක් චිත්‍රපට උළෙලේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සම්මාන හතර බැගින් ලබා ගනිමින් සම්මාන ලැයිස්තුවේ පෙරමුණ දිනාගත්තේ ය.