කප්පම් ගත් පොලිස් කොස්තාපල්ට වැඩ වරදී

රාගම වෙළඳුන්ගෙන් කප්පම් ගත් පොලිස් කොස්තාපල්ට වැඩ වරදී

by Chathuranga Rajapaksha 28-05-2018 | 9:37 PM
COLOMBO (News 1st) - රාගම ප්‍රදේශයේ වෙළඳසැල්වලින් කප්පම් ගනිමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහු සමග සිටි තවත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. අදාළ පොලිස් කොස්තාපල්වරයා කොටුව පොලීසියට අනියුක්තව සේවය කරන අයෙකි. එම පොලිස් කොස්තාපල්වරයා පසුගිය 19වනදා රාගම සිගරට් අලෙවි කරන වෙළඳසැල් වෙත ගොස් සිගරට් දැල්වීම සඳහා ගින්දර ලබා දිම නීති විරෝධි බව පවසා ඔවුන්ව බිය ගන්වා තිබෙන බව පොලීසිය සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් නීතිමය කටයුතු නොකර සිටීමට ඔහු වෙළෙන්දන්ගෙන් මුදල් ඉල්ලා තිබෙන බව පොලීසිය පවසයි. අනතුරුව වෙළෙඳුන්ගෙන් ඔහු රුපියල් 15,000 සහ රුපියල් 10,000 බැගින් මුදල් ලබාගෙන තිබෙන බව පොලීසිය පවසයි. පසුව මොවුන් පිළිබඳ සැක මතු වූ වෙළෙඳුන් ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි කර තිබේ. අනතුරුව පොලීසිය විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබිණි. පොලිස් කොස්තාපල්වරයා සහ ඔහු සමග සිටි පුද්ගලයා මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 31වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.