දුම්රිය සේවකයින් පැය 48ක සංකේත වැඩ වර්ජනයකට සැරසේ

දුම්රිය සේවකයින් පැය 48ක සංකේත වැඩ වර්ජනයකට සැරසේ

by Hashini De Mel 28-05-2018 | 6:40 PM

COLOMBO (News 1st) - වැටුප් විෂමතාවක් මුල්කර ගනිමින් හෙට පස්වරු 4.00 සිට පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය තාක්ෂණික සේවා වෘත්තිය සමිති කමිටුව පවසයි.

කෙසේ වෙතත් දුම්රිය නියාමකවරුන්, රියැදුරන්, ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලක, අධීක්ෂණ කළමනාකරුවන් ඇතුලු වෘත්තිය සමිති ගණනාවක් මෙම වර්ජනයට එක්නොවන බව දුම්රිය රියැදුරන්ගේ සංගමය පවසා ඇත. එහි ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ප්‍රකාශ කළේ, ඒ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට විශාල බලපෑමක් ඇති නොවන බවයි. මේ අතර ජලසම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය අද පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා පැය 4 ක සංකේත වැඩ වර්ජනයක නිරත විය. රත්මලාන ප්‍රධාන කාර්යාලය, දෙහිවල හා මොරටුව කොට්ඨාසවල කාර්යාලවල සියලු සේවකයින් ඊට එක් ව සිටියහ. වසර තුනකට වරක් හිමිවිය යුතු වැටුප් වැඩි කිරීම නියමිත පරිදි මේ වසරේදී නොලැබීමට විරෝධය පළ කරමින් වැඩ වර්ජනය පැවැත් විණි. තම ඉල්ලීම් ඉටු කිරීමට රජය කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට යොමු වන බව ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය ප්‍රකාශ කළේ ය.