තෙවන වරටත් IPL කිරුළ චෙන්නායි සුපර් කිංග්ස්ට

තෙවන වරටත් IPL කිරුළ චෙන්නායි සුපර් කිංග්ස් දිනාගනී

by Sagarika Chathumali 28-05-2018 | 6:44 AM
තුන්වන වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය. ඒ අවසන් මහා තරගයේදී සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමට එරෙහි තරගය කඩුළු 8 කින් ජය ගනිමිනි. තරගය මුම්බායිහි වන්කඩේ ක්‍රීකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. පළමුවෙන් පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 178 කි. නායක කේන් විලියම්සන් පන්දු 36 කදී ලකුණු 47 ක් රැස් කළේ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා බවට පත් වෙමිනි. ඔහු තරග 17 කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 735 කි. නොදැවී කඩුල්ලේ රැඳී සිටි යුසුෆ් පතාන් පන්දු 25 කදී ලකුණු 45 ක් රැස් කළේ ය. ඔහුගේ ඉණිමට හතරේ පහර 4 ක් හා හයේ පහර 2 ක් ඇතුළත් විය. ලකුණු 179 ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 10 ක් රැස් කරගෙන සිටි ඩූ ප්ලෙසිස් දැවී ගියේ ය. අනතුරුව පිටියේ ස්ථාවර වූ ආරම්භක පිතිකරු ශේන් වොට්සන් හා සුරේෂ් රෙයිනා චෙන්නායි ඉණිමේ දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සබඳතාව ලකුණු 117කි. චෙන්නායි කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වූ ශේන් වොට්සන් පන්දු 57 ක් නොදැවී ලකුණු 117 ක් රැස් කළේ ය. ඔහුගේ ඉණිමට හතරේ පහර 11 ක් හා හයේ පහර 8 ක් ඇතුළත් විය. අම්බාටි රයිදු නොදැවී ලකුණු 16ක් රැස් කළේ ය. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තරගයේ ජය තහවුරු කර ගත්තේ පන්දුවාර 18 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී තිබියදීයි. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මේ වන තෙක් අවස්ථා තුනකදී ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතා කුසලාන තමන් සතුකර ගැනීමට සමත් විය. ඒ 2010 හා 2011 වසරවලදීයි. 2016 හා 2017 වසරවලදී තරගාවලි තහනමකට ලක්ව සිටි චෙන්නායි කණ්ඩායම එම තහනම අවසන් වීමෙන් අනතුරුව නැවත තරග බිමට පිවිසි පළමු අවස්ථාව මෙය වේ.