තරග පාවාදීම් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක්

තරග පාවාදීම් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක්

by Sagarika Chathumali 28-05-2018 | 9:21 AM
මුදලට තරග පාවාදීම් සම්බන්ධයෙන් අල් ජසීරා රූපවාහිනිය නිකුත් කළ වාර්තා වැඩසටහනට අදාළ සියලු ම කණ්ඩායම් සම්බන්ධ කර ගනිමින් පුළුල් පරීක්ෂණයක් සිදුකරන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි. අල් ජසීරා රූපවාහිනිය විසින් රහසිගත ලෙස තොරතුරු ගවේෂණය කරමින්, සිදු කළ වාර්තා වැඩසටහනක් මේ වන විට නිකුත් වී තිබේ. ලොව විවිධ රටවල ක්‍රිඩකයින්, ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයින් සහ වෙනත් පුද්ගලයින් රැසක් මුදලට තරග පාවාදුන් බව ඉන් පෙන්වා දී තිබේ. ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ අදාළ වැඩසටහන අනාවරණය කළ සියලු තොරතුරු සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන බවයි. එම වැඩසටහන මගින් තොරතුරු අනාවරණය කළ සියලු කණ්ඩායම් ඊට සම්බන්ධ කර ගන්නා බව ද එහි දැක්වේ. මෙම වැඩසටහනේදී ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකුට ද චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදෙස් ලබා දුන් බවට පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් ය. යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ඊට සම්බන්ධ නම් ඔහුට එරෙහිව වහා ම අපරාධ නීතිය යටතේ පියවර ගත යුතු බවටත් ඊට සම්බන්ධ සේවකයින් හෝ ඒජන්තවරුන්ට ද දඬුවම් පැමිණ විය යුතු බවටත් එහි දැක්වේ.