කාලගුණයේ අලුත් ම තත්ත්වය.....

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණයේ අලුත් ම තත්ත්වය.....

by Sagarika Chathumali 28-05-2018 | 6:04 AM

COLOMBO (News 1st) : නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින පුරා ස්ථාපිත වී ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයින පුරා සහ දිවයින වටා සුළං තත්ත්වයේ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි. මුහුද ආශ්‍රිතව සුළං තත්ත්වය ඉහළ යා හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිස්ත්‍රික්ක රැසකට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 43604 ක පුද්ගලයින් 166228 දෙනෙක් තවදුරටත් පීඩාවට පත්ව සිටිති. ආරක්ෂිත ස්ථාන 339 ක පවුල් 19519 කට අයත් පුද්ගලයින් 75013 දෙනෙකු රඳවා ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය. නිවාස 118 කට පූර්ණ හානි සිදුව අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 5073 කි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවැසුවේ ව්‍යපාරික ස්ථාන 165 කට හානි සිදුව ඇති බවයි. පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් අතර තවත් පුද්ගලයෙකු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අතුල ආරියරත්න මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්.අජිත් නිශාන්ත මහතා පැවසුවේ ආපදා තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 12925 ක පුද්ගලයින් තවදුරටත් පීඩාවට පත්ව සිටින බවයි. ගම්පහ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් අද වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය සඳහන් කළේ, අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් දෙමාපියන්ගෙන් ලැබුණු ඉල්ලීම ද සලකා එම පියවර ගත් බවයි. මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක හටගත් ජල ගැලීම් තත්ත්වය මේ වන විට පහව යමින් ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා පවසයි. රත්නපුර දිස්ත්‍රික්කයේ අවතැන් කඳවුරු 15 ක් තුළ පවුල් 116 කට අයත් පුද්ගලයන් 400 කට ආසන්න පිරිසක් තවදුරටත් රඳවා ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ ය. පුත්තලම දිස්ත්‍රික් ලේකම් එම්. එච්. එම්. චිත්‍රානන්ද මහතා පැවසුවේ ආපදා තත්ත්වයෙන් වැඩි බලපෑමක් එල්ල වු පුත්තලම දිස්ත්‍රික්යේ කඳවුරු 93 ක පවුල් 4983 කට අයත් පුද්ගලයින් 20 දහසකට ආසන්න පිරිසක් රදවා ඇති බවයි. මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස හානිවූ පුද්ගලයින් සඳහා රුපයල් දහ දහසක අත්තිකාරම් මුදලක් ලබාදීමේ වැඩපිළිවෙල අද ආරම්භ වන බව ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් සිසිර කුමාර මහතා සඳහන් කළේ ය. මේ අතර නුවරඑළිය, කළුතර, ගාල්ල , කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, ගතවූ පැය 24 තුළ එම ප්‍රදේශ වලට මිලිමීටර් 150 ඉක්මවු වැසි ලැබීම හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම නිකුත් කළ බවයි. මේ අතර අදියර දෙක යටතේ ක්‍රියාත්මක අවධානයෙන් සිටීමේ නිවේදන දිස්ත්‍රික්ක 5 ක් සඳහා නිකුත් කළ බවද ඔහු ප්‍රකාශ කළේ ය.