'ධර්මයුද්ධය' දෙරණ සිනමා සම්මානයෙන් පිදුම් ලබයි..

දෙරණ සිනමා සම්මාන රාත්‍රියේදී වසරේ හොඳ ම නළුවා සහ නිළිය සම්මාන ද්විත්වයම ධර්මයුද්ධයට

by Hashini De Mel 27-05-2018 | 9:20 PM

COLOMBO (News 1st) - දෙරණ සිනමා සම්මාන රාත්‍රිය නෙළුම් පොකුණ රඟහලේදී අතිඋත්කර්ෂවත් ලෙස ඊයේ පැවැත් විය.

එහිදී වසරේ හොඳම නළුවාට හා නිළියට හිමි සම්මාන ද්විත්වයම දිනා ගත්තේ ධර්මයුද්ධය සිනමා පටයයි. දෙරණ සිනමා සම්මාන උළෙල සඳහා 2017 වසරේදී විකාශය වූ චිත්‍රපට 23 ක් සලකා බැලිණි. එහිදී ජුරිය විසින් සම්මාන 20 ක් සහ ජනතාව විසින් සම්මාන 7 ක් නිර්දේශ කර තිබුණි. එහිදී වසරේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත්තේ, 28 චිත්‍ර පටය යි. එම චිත්‍රපටය වෙනුවෙන් ප්‍රසන්න ජයකොඩි හොඳම අධ්‍යක්ෂණයට සහ හොඳම තිර රචනයට හිමි සම්මාන ද්විත්වයම දිනා ගත්තේ ය. 2017 වසරේ ජනකාන්ත චිත්‍රපටය වුයේ, ධර්මයුද්ධය චිත්‍රපටය යි. එම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ජැක්සන් ඇන්තනී සහ දිල්හානි ඒකනායක හොඳම රංගන ශිල්පියා සහ ශිල්පිනියට හිමි සම්මාන දිනාගත්හ. ධර්ම යුද්ධය චිත්‍රපටයේ රඟ පෑ කුමාර තිරිමාදුර හොඳම සහය නළුවාට හිමි සම්මානයත් ඒ ලෙවල් චිත්‍රපටයේ රගපෑ උමාලි තිලකරත්නට හොඳම සහය නිළියට හිමි සම්මානයත් දිනා ගත්තා ය. ජනප්‍රියම නැගී එන රංගන ශිල්පිනිය වූයේ ද උමාලි තිලකරත්නයි. 06 වන දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙලේ ජනප්‍රියම රංගන ශිල්පියාට හිමි සම්මානය හේමාල් රණසිංහට හිමි වූ අතර ජනප්‍රියම රංගන ශිල්පිනිය ලෙස යුරේනි නොෂිකා සම්මානයට පාත්‍ර විය. හෙළ සිනමා විජිතයේ රාජිණිය ලෙස සැලකෙන මාලනී ෆොන්සේකා මහත්මියට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යාවජිව සම්මානය මෙහිදී පිරි නැමිණි.