ICC පරීක්ෂණවලට සහය දෙනවා - ශ්‍රී ලංකා ක්‍රිකට්

තරග පාවාදීම් සම්බන්ධයෙන් ICC පරීක්ෂණවලට සහය දෙනවා - ශ්‍රී ලංකා ක්‍රිකට්

by Chathuranga Rajapaksha 27-05-2018 | 9:35 AM

COLOMBO (News 1st) - මුදලට තරග පාවාදීම් සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සිදු කරන විමර්ශන සඳහා තම සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් සමඟ මේ වන විටත් සාකච්ඡා කර ඇති බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරට ත් දැක්වේ. මුදලට තරග පාවාදීම් සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් වාර්තාමය වැඩසටහනක් විකාශය කිරීමට අල්ජසීරා රූපවාහිනිය සූදානම් වීමත් සමග මෙම විමර්ශන සම්බන්ධ කතාබහ කරළියට පැමිණියේය. මෙහි මුදලට තරග පාවාදීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකිකයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් ද තොරතුරු ඇතුළත් වේ. 2016 වසරේ ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතර පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේදී, ගාල්ල තණතීරුව පන්දු යවන්නන්ට වාසි සහගත ලෙස සැකසීම වෙනුවෙන් රොබින් මොරිස් ලෙස හඳුන්වන පුද්ගලයා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහකාර කළමනාකරු ලෙස සේවය කරන තරංග ඉන්දික සහ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩක තරිඳු මෙන්ඩිස් සම්න්ධ කර ගෙන තිබේ.‍