by Hashini De Mel 27-05-2018 | 10:06 PM
COLOMBO (News 1st) - අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට එරෙහිව එරට අධිකරණ දෙපාර්තමේන්තුව විසින් මුදල් විශුද්ධීකරණය යටතේ අධිචෝදනා නිකුත් කිරීමට සූදානම් වන බව සිය මුලාශ්‍ර මත පදනම්ව සන්ඩේ ටයිම්ස් පුවත්පත අද වාර්තා කළේ ය.
අදාළ පරීක්ෂණ FBI ආයතනය හරහා සිදු කෙරෙන අතර අමෙරිකානු අධිකරණයක ජූරි සභාවක් විසින් ජාලිය වික්‍රමසූරියට එරෙහිව චෝදනා නිකුත් කිරීමට අනුමැතිය ලබාදී ඇති බව සඳහන් වේ.
ඔහුට එල්ලවී ඇති චෝදනාව වන්නේ, අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී රජයට අයත් අමෙරිකානු ඩොලර් තුන්ලක්ෂ තිස්දෙදහසක මුදලක් අවභාවිත කිරීමයි.
මෙම චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වික්‍රමසුරිය මහතා මහාධිකරණය මගින් ඇප ලබා ගෙන මේ වන විට අධිකරණය මගහැරීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගන්නැයි, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ද වරෙන්තු නිකුත් කර ඇත.
මේ අතර ජාලිය වික්‍රමසූරිය මහතාගේ තානාපති වරප්‍රසාද රජය විසින් අහෝසි කළ පසුබිමක තමන් තවමත් තානාපති වරප්‍රසාද දරණ අයෙකු බවට නියෝගයක් ඉල්ලා ජාලිය වික්‍රමසූරිය මහතා පසුගිය දා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කළ අතර අධිකරණය එය ප්‍රතික්ෂේප කරනු ලැබීය.
අනතුරුව ඒ සම්බන්ධයෙන් වික්‍රමසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ද පෙත්සමක් ඉදිරිපත්කරනු ලැබිණි.
ජාලිය වික්‍රමසූරිය මහතා 2008 - 2014 කාලය තුළ අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ අතර ඔහු ඊට පෙර අමෙරිකාවේ තේ ව්‍යාපාර සිදු කළ අයෙකි.