දිවියක් රැක ගන්න දිවියක් බිලි දුන් නිලධාරියෙක්

දිවියක් රැක ගන්න දිවියක් බිලි දුන් නිලධාරියෙක්

by Staff writer 26-05-2018 | 7:47 PM
COLOMBO (News 1st) - සිය ජීවිත අවදානම නොතකා ජන ජීවිත සුරකින්නට මේ ආපදා තත්ත්වය තුළ ත්‍රිවිධ හමුදාව හා පොලීසිය කළ මෙහෙවර මිල කළ නොහැක්කක්. පොලිස් කොස්තාපල් ඩිලාන් සම්පත් ඒ අමිල මෙහෙවරේ නොමැකෙන එක් මතකයකි. දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූ 28 හැවිරිදි ඩිලාන් ඉගෙනුම ලැබුවේ, ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලේ ය. පාසල් අධ්‍යාපනයෙන් පසු පොලිස් සේවයට එක්වන ඩිලාන් දෙනියාය, මාතර, හක්මන, වෙන්නප්පුව, හලාවත යන පොලිස් ස්ථානවල රාජකාරී කිරීමෙන් පසු මාදම්පේ පොලීසියේ සේවයට එක්වන්නේ මීට වසරකට පෙර ය. මීට දින දෙකකට පමණ පෙර නිවාඩුව සඳහා සිය නිවසට පැමිණෙන ඩිලාන් පෙරේදා දෙමාපියන් වැඳ යළි සේවයට වාර්තා කිරීම සඳහා නිවසින් පිට වන්නේ පවතින ආපදා තත්ත්වය හමුවේ තමන්ට පැවරී ඇති වගකීම ගැන සිත්හි දරන් ය. ඒ අනුව ඩිලාන් ඊයේ මාදම්පේ ගල්මුරුව ප්‍රදේශයේ නිවාස කිහිපයක කොටු වී සිටි ළමුන් පිරිසක් බේරා ගැනීමට මාදම්පේ පොලීසියේ නිලධාරීන් පිරිසක් සමග ගොස් තිබිණි. එහිදී පිරිස් බේරා ගැනීමට ඩිලාන් ඇතුළු කණ්ඩායමට හැකි වුවත්, ඩිලාන්ගේ ජීවිතය ඩිලාන්ට අත හැරිණි. අද පෙරවරුවේත් අතුරුදන් වූ ඩිලාන් සොයා නාවික හමුදාව, යුද හමුදාව, පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් දියත් කළත් ඔහු පිළිබඳව හෝඩුවාවක් හමු නොවී ය. තම ජීවිතය, තම නිවාඩුව නොතකා අන් අයගේ ජීවිත බේරා ගැනීමට ඉදිරිපත් වූ පොලිස් කොස්තාපල් ඩිලාන්, ඔබට පොදු ජනතාවගේ උපහාරය...