තරග පාවා දුන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනා කවුද?

ගාල්ලේදී තරග පාවා දුන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනා කවුද? - අල්ජසීරා හෙළිදරව්වක

by Staff writer 26-05-2018 | 9:39 PM
(News 1st) - මුදලට තරග පාවා දීම් සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් වාර්තාමය වැඩසටහනක් විකාශය කිරීමට අල්ජසීරා රූපවාහිනිය සූදානම් වේ. මෙහි මුදලට තරග පාවා දීම් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් ද තොරතුරු ඇතුළත් ය. අල්ජසීරා රූපවාහිනිය විසින් රහසිගත ලෙස තොරතුරු ගවේෂණය කරමින් සිදු කළ මෙම සොයා බැලීමේදී අදාළ තොරතුරු අනාවරණය වී තිබේ. ගාල්ල තණ තීරුව පන්දු යවන්නන්ට වාසි සහගත ලෙස සැකසීම වෙනුවෙන් රොබින් මොරිස් ලෙස හඳුන්වන පුද්ගලයා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහකාර කළමනාකරු ලෙස සේවය කරන තරංග ඉන්දික සහ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩක තරිඳු මෙන්ඩිස් සම්බන්ධ කර ගෙන තිබේ. ඒ, 2016 වසරේ ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය සඳහා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව පන්දු යවන්නන්ට වාසි සහගත ලෙස සැකසීම වෙනුවෙනි. එහිදී පන්දුවාර 85ක් තුළ ඔස්ට්‍රේලියානු කඩුලු 18ක් බිඳ වැටීම කැපී පෙනෙන කරුණකි. එසේ ම පසුගිය වසරේ ජූලි මාසයේදී ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ, ගාල්ලේදී පැවති තරග සඳහා ද තණතීරුව පිතිකරුවන්ට වාසි සහගත ලෙස සකස් කිරීමට ඔවුන් කටයුතු කර තිබේ. පිතිකරුවන්ට වාසි සහගත ලෙස තණතීරුව සැකසූ එම තරගයේදී ඉන්දිය කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 600 ක් ලබා ගත්තේ ය. ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණ තණතීරුව ඔට්ටු තබන්නන්ට අවශ්‍ය පරිදි සැකසීම සම්බන්ධයෙන් හෝටල් කාමරයකදී සිදු වූ සාකච්ඡාව අල්ජසීරා මාධ්‍යවේදීන් රහසිගත ලෙස පටිගත කර තිබිණි. එම සාකච්ඡාවේදී රොබින් මොරිස් හරහා ගාල්ල ක්‍රීඩාංගණය භාර සහකාර කළමනාකරු සහ තරංග ඉන්දික සහ පළමු පෙළ ක්‍රීඩක තරිදු මෙන්ඩිස් හරහා අවශ්‍ය පරිදි තණතීරුව සකස් කර ගැනීමට හැකි බව පවසා තිබේ. ඔවුන් එළැබෙන එංගලන්ත තරග සංචාරයේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව අවශ්‍ය පරිදි සකසා දිය හැකි බවට තොරතුරු අනාවරණය කර බවට අල්ජසීරා වාර්තාවේ සඳහන් ය. අදාළ සිදුවීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙන්නේ, අදාළ සිදුවීම පිළිබඳ සිය ක්‍රීඩකයින් දැනුවත් කර ඇති බව ය. එසේ ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහකාර කළමනාකරු තරංග ඉන්දික මේ වෙනුවෙන් ඩොලර් 37000ක් ලබා ගෙන ඇති බවට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. මේ අනුව හෙට දිනයේදී අල්ජසීරා රූපවාහිනිය මගින් විකාශය කිරීමට නියමිත අදාළ වාර්තා වැඩසටහන මගින් මුදලට තරග පාවා දීම් සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වීමට නියමිත ය.